අපේ රටේ රතිඤ්ඤාව ගැන බොහෝදෙනා නොදන්නා අමුතු කතාවක් මෙන්න

රතිඤ්ඤාවේ කතාන්දරය සොයා බලන්නට මෙය හොඳම කාලය වනු ඇත. ඒ සිංහල අලූත් අවුරුදු සමය නිසාවෙනි. රතිඤ්ඤාව ’ නොහොත් ඉංග්‍රීසි බසින් හඳුන්වන ‘ ෆයර්ක්‍රැකර් ’ නමැති මෙම අපූරු මෙවලමට මහා ලෝක ඉතිහාසයක් ඇත. රතිඤ්ඤාවකින් කෙරෙන ප්‍රධාන කර්යය වන්නේ ශබ්දය නිපදවීමය. ලොව වෙඩි ඛෙහෙත් සොයා ගැනීමට ප්‍රථම මිනිසා මෙවැනි ශබ්දයක් නිපදවාගෙන ඇත්තේ උණ බටයක් රත් කිරීම මගිනි. උණ බටයක් දිගින් දිගටම රත් කිරීම මගින් ශබ්දයක් පිට කිරීමේ ක්‍රමයක් ආදි මිනිසා සොයාගෙන තිබිණි. එහෙත් බොහෝ පසු කලෙක එනම් 09 වැනි ශතවර්ෂයේදී චීන ජාතිකයන් විසින් වෙඩි ඛෙහෙත් සොයාගැනීමෙන් පසුව එම තත්වය අතිශය වෙනස් මගකට හැරිණි. එනම් වෙඩි ඛෙහෙත් භාවිත කොට විවිධ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ඇරඹිණි. එනම් රතිඤ්ඤාව නිර්මාණය කිරීම සිදුකළේ ද 09 වැනි ශතවර්ෂයේදීය. එහෙත් ලොව පුරා එය මෙවලමක් වශයෙන් ප්‍රචලිතව, වෙළඳ මට්ටමින් නිශ්පාදනය සිදුකොට ඇත්තේ වර්ෂ 1628 – 1643 වැනි කාල වකවානුවකදී චීනයේදීමය. එනම් එසේ බලන විට රතිඤ්ඤාවට වසර හාරසියයක් නොහොත් ශතක හතරක මහා ඉතිහාසයක් ඇත.

රතිඤ්ඤාව සොයාගත් චීනය, අදටත් ලොව රතිඤ්ඤා කර්මාන්තයෙහි සහ වෙනත් විවිධ ගිනිකෙළි කර්මාන්තයෙහි ඉදිරියෙන්ම සිටියි. එරට එය ඉතාමත් පුළුල් වූ විශාල කර්මාන්තයකි. ලොව බොහෝ රටවල මෙම කර්මාන්තය සිදු කෙරුණද අංක එකට ඇත්තේ චීනයයි. ලොව පුරා ඇති රටවල් රැසකට විවිධ ගිනිකෙළි වර්ග රාශියක් අපනයනය කිරීමට තරම් චීනය මෙම කර්මාන්තයෙහි අතිශය දියුණු තත්වයකට පත්ව ඇත. විශේශයෙන් ලොව විවිධ රටවල පවත්වන අති විශාල ගිනිකෙළි සංදර්ශන වලට ඉතාමත් සංකීර්ණ වූ ගිනිකෙළි පද්ධති සපයනු ලබන්නේ චීනය විසිනි. මෙය ඩොලර් මිලියන ගණනක මහා ව්‍යාපාරයකි.

ශ්‍රී ලංකාව තුළ ගිනිකෙළි කර්මාන්තයට ඉතා දිගු ඉතිහාසයක් නැති බැව් පෙනීයයි. ශ්‍රී ලංකාවේ විවිධ විදේශ පාලනයන් තිබූ සමයන්හිදී රතිඤ්ඤා සහ විවිධ ගිනිකෙළි වර්ග විදෙස් රටවලින් ආනයනය කර ඇති බවට ඉතිහාස තොරතුරු ඇත. එහෙත් පසුව ශ්‍රී ලංකාව තුළ ද ගිනිකෙළි කර්මාන්තයක් බිහි වී ඇත. එය කෙසේ සිදුවීද?

ඉතිහාස කතා සොයා බැලීමේදී දැනගත හැක්කේ අපූරු කතාන්දරයකි. එනම් ගිනිකෙළි කර්මාන්තයට ප්‍රකට වූ චීන ජාතිකයන් පිරිසක් මෙයට වසර 80 කට පමණ පෙර මීගමුවේ කිඹුලාපිටිය නම් ප්‍රදේශයේ ගම් වැසියන් පිරිසකට ගිනිකෙළි නිශ්පාදනය උගන්වා ඇත. ඊට පසුව ගම්වැසියන් එම කටයුතු කර්මාන්තයක් වශයෙන් සිදුකර ඇත. එසේම දීර්ඝ කාලීනව පිය, පුතු හා මුණුඹුරු වශයෙන් එම ගිනිකෙළි කර්මාන්තය පරම්පරාවෙන්, පරම්පරාවට සාර්ථකව පවත්වාගෙන පැමිණ ඇත. අද ශ්‍රී ලංකාවේ ගිනිකෙළි කර්මාන්තය සිදුකෙරෙන ප්‍රධානතම සහ එකම ප්‍රදේශය වන්නේ මෙම කිඹුලාපිටියයි.

කිඹුලාපිටිය ගමේ වැසියන්ගේ ජීවන වෘතිය වන්නේ රතිඤ්ඤා නිපදවීමේ කර්මාන්තයයි. එනම් එම ගමේ පවුල් ඒකක 10,000 කටත් අධිකව මෙම කර්මාන්තයෙහි නිරත වී සිටිති. එක් පවුලක සාමාජිකයන් කිහිප දෙනෙකු බැගින් මෙම පිරිස 2,00,000 ඉක්මවා යති. මේ අනුව කිඹුලාපිටිය ගමේ රතිඤ්ඤා කර්මාන්තයට වසර 80 – 90 ක පමණ ඉතිහාසයක් ඇත. එසේම කිඹුලාපිටිය ප්‍රදේශයේ කුඩා ප්‍රමාණයේ ගිනිකෙළි කර්මාන්තශාලාද වෙති. මෙම ප්‍රමාණය 700 කට අධික බැව් වාර්තා වෙයි.
ඉතාමත් බියකරු, අනතුරුදායක වෘත්තියක් වන ගිනිකෙළි නිශ්පාදනය නිසා කිඹුලාපිටිය ග්‍රාමයේ ජීවිත පවා හානි වූ පිරිස අති විශාලය. එමෙන්ම දෙනෙත් අන්ධ වීම, ශරීර ඉන්ද්‍රියන්ට හානිවීම ආදී සිදුවීම් ද රාශියක් වාර්තා වී ඇත. එකවර මරණ කිහිපයක් පවා වාර්තා විණි. එහෙත් කුමන බියකරු තත්වයක් තිබුණ ද එම කර්මාන්තය කිසිදු විටෙක නොනැවතී ඉදිරියටම යයි.

ශ්‍රී ලංකාවේ ගිනිකෙළි කර්මාන්තයට පැරණි පිටුවක් මෙන්ම අලූත් පිටුවක්ද ඇත. එනම් අපූරු කතාන්දරය වන්නේ අන්තර්ජාලයේ වෙබ් අඩවි ආදිය පවත්වාගෙන යමින් ඉතා විශාල මට්ටමින් ව්‍යාපාර කටයුතු සිදුකරන ගිනිකෙළි කර්මාන්ත කිහිපයක්ද ඇත. එසේම ‘ ෆෙස්බුක් ’ වැනි අන්තර්ජාල සබඳතා හරහා ද ඔවුන් තම ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කර සාර්ථකව පවත්වාගෙන යයි. නූතන ලෝකයට ගැලපෙන ආකාරයට කටයුතු සිදුකෙරෙන එම ආයතන වලට රුපියල් මිලියන ගණනින් විශාල ඇණවුම් ද ලැඛෙති. සමාජයේ ඉහළ පැලැන්තියේ විවිධ උත්සව, ජාතික මට්ටමේ උත්සව සහ දේශපාලනික උත්සව සඳහා ද මොවුන්ට විශාල ඇණවුම් ලැඛෙති. විවිධ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් මෙන්ම ප්‍රභල දේශපාලකයන්ගෙන්ද මොවුනට රුපියල් මිලියන ගණන්වල ඇණවුම් ලැබේ.

මේ අනුව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල ‘ ඔන්ලයින් ’ රතිඤ්ඤා කඩ කිහිපයක්ම ඇත. ඔවුන් තමන්ගේ ගිනිකෙළි වර්ග ගැන විස්තර, ඡායාරූප සහ වීඩියෝ දර්ශනද මෙම වෙබ් අඩවි මගින් පෙන්වා සිටිති. අද නූතන ක්‍රමයට අනුව මේවා නිරීක්ෂණය කර ඇනවුම් බාර දෙනු ලබති. ශ්‍රී ලාංකික රතිඤ්ඤා කර්මාන්තයේ නූතන පිටුව එසේ පෙරළී ඇත.

ශ්‍රී ලංකාවේ උත්සව සමයට වඩා මැතිවරණ සමයකදී රතිඤ්ඤා තොග විකිණෙන බැව් හෙලිව ඇත. මෙයට හේතුව උත්සව සමයකදී එම උත්සවයන්ට අදාල ජාතීන් හෝ ආගමිකයන් පමණක් එම කටයුතු සිදුකරන මුත්, මැතිවරණයකදී සියළු ජාති ආගම් වල පිරිස් මෙම රතිඤ්ඤා දැල්වීම සිදුකරන නිසාවෙනි. එක් මැතිවරණ සමයකදී පමණක් කෝටි 05 ක පමණ රතිඤ්ඤා තොග විකිණෙන බැව් හෙලිවී ඇත.

ලෝකයේ බොහෝ රටවල රතිඤ්ඤා භාවිතය සඳහා විවිධ නීති රීති පවා ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ ගිනිකෙළි බාවිත කිරීමේදී කිසිදු නීතිමය ප්‍රතිපත්තියක් හෝ අචාරධර්ම ප්‍රතිපත්තියක් නොමැත. මෙසේ නිසි ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා ශ්‍රී ලංකාව තුළ ඒ මගින් සිදුවන අනතුරුද බොහෝය. මෙය ශෝකී තත්වයකි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඕනෑම වයස තරාතිරමක අයට විවිධ ගිනිකෙළි වර්ග විවෘත වෙළඳපොළෙන් පහසුවෙන්ම මිලදී ගත හැකිය. මේ නිසා උත්සව සමයෙහිදී වඩාත්ම ගිනිකෙළි මිලදී ගන්නේ අඩු වයස් ප්‍රමාණයේ දරුවන්ය. අවුරුදු 07 සිට 15 පමණ දක්වා දරුවන් කිසිදු බාධාවක් නැතිව මෙම ගිනිකෙළි මිලදී ගනිති. මෙහිදී කිසිදු වැඩිහිටියෙකුගේ මැදිහත් වීමක්ද නැත. එසේම ඉන්පසුව එම බොහෝ දරුවන් එම ගිනිකෙළි දැල්වීම පවා සිදු කරති. මෙම තත්වය නිසා වර්තා වී ඇති අනතුරුද අති විශාලය.

ශ්‍රී ලංකාව තුළ මෙවැනි ‘ විගඩම්කාරී ’ තත්වයක් තිබුණ ද ලොව සමහර රටවල ගිනිකෙළි භාවිතයට නීති, රීති තිඛෙන අතර, සමහර රටවල ගිනිකෙළි භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. ලොව දියුණු දේශයක් වන කැනඩාවේ ගිනිකෙළි භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්ය. ඕස්ටේ‍රලියාවේදී ගිනිකෙළි භාවිතය සිදුකළ හැක්කේ විශේෂ උත්සවයකදී ඒ සඳහා අවසර ලත් ගිනිකෙළි ශිල්පියෙකුට පමණි. එම බටහිර රටවල් පමණක් නොව මැලේසියාව, සිංගප්පූරුව, වියට්නාමය සහ තායිවානය යන ආසියාතික රටවලද ගිනිකෙළි භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්ය. එය සැබැවින්ම මුළු ආසියාවටම හොඳ නිදර්ශනයකි. චීනය ලොවට ගිනිකෙළි හඳුන්වා දුන් දේශය වුවද, එහි ගිනිකෙළි භාවිතය කළ හැක්කේ ඔවුන්ගේ වාර්ෂික චීන අවුරුදු උත්සවයේදී පමණි. ඇමරිකාවේ සහ එංගලන්තයේ විශේෂ ආරක්ෂක විධි විධාන යටතේ ගිනිකෙළි සංදර්ශන පැවැත්වෙයි.

අපූරුම කතාව වන්නේ ගිනිකෙළි හිතේ හැටියට ඕනෑම තැනක, ඕනෑම වේලාවක භාවිතා කළ හැකි එකම රටවල් දෙක වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වීමය. ඉන්දියාවද ශ්‍රී ලංකාව සේම කටයුතු කරති.

සමහර අධිබලැති රත්ඤ්ඤා වර්ග නිසා ශබ්දා දූශණය පවා සිදුවන බැව් පරිසරවේදීන් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේදී විවාහ මංගල්‍යවලදී ද රතිඤ්ඤා පත්තුකරනු ලබන අතර, සමහර ප්‍රදේශ වල අවමංගල්‍ය උත්සවවලදීත් දේහය කනත්ත වෙත රැෙඟන යන තුරුම විටින් විට රතිඤ්ඤා දල්වමින් ශබ්ද නගති. කතෝලික ජනයා වෙසෙන ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශ වලද මෙම චාරිත්‍රය සිදු කෙරෙයි.

අප රට තුළදී රතිඤ්ඤා වර්ගයක් වෙනත් අත්‍යවශ්‍ය කාර්යයක් සඳහා භාවිතා කරනු ලබයි. එනම් අනවශ්‍ය වන සතුන් පලවා හැරීමට භාවිතා කරති. විශේෂයෙන්ම අලින් පලවා හැරීමට ‘ අලිවෙඩි ’ වශයෙන් භාවිතා කරන්නේද ප්‍රභල රතිඤ්ඤා වර්ගයකි. එසේම වගාවන් වලට හානි පමුණුවන වඳුරන්, රිලවුන් සහ කුරුල්ලන්ද රතිඤ්ඤා දල්වමින් පලවා හරිති. මේ අනුව බලන කල රතිඤ්ඤාව විනෝදය සහ ඵල ප්‍රයෝජනය සඳහා ද භාවිත කරයි.

ශ්‍රී ලංකාවේ සහ විදෙස් ගිනිකෙළි කර්මාන්තයේ තොරතුරු සෙවූ අපි අපූරු කතාවක්ද දැන ගත්තෙමි. එනම් රක්ෂණයක් ගන්නට යැයි අප පසුපස එන රක්ෂණ සමාගම් කිසිවක් කිඹුලාපිටිය ගමේ අහලකටවත් නොයන බවය. අහෝ අපගේ රක්ෂණය යැයි අපිට සිතිණි.

Add Comment