ඔස්ට්‍රේලියාවේ පාළු දූපතක වෙසෙන අපේ කා‍ලේ රොබින්සන් කෲසෝ – ඇත්තටම හරිම පුදුමයි

ඩැනියෙල් ඩෙෆෝගේ රොබින්සන් කෲසෝ කෘතිය ඔබට මතකද? යාත්‍ර කළ රුවල් නැව විනාශ වීමෙන් අනතුරුව කොහේදෝ දූපතකට ගසාගෙන යන මිනිසෙකු විසින් ජීවිතය ගැටගසා ගැනීමට කරනු ලබන අරගලය පිළිබඳ කියැවෙන එය ඉතා රමණීය වෘතාන්තයකි. කේ.ජී. කරුණාතිලකගේ පරිවර්තනයක් වන මේ ‍පොත මා කුඩා කාලයේ අනන්තවත් කියවා තිබුණද අද පවා අතට අහුවුණෝතින් නොකියවා බිම තියෙන්නේ නැත.

කුණාටුවක් හේතුවෙන් ගුවන්යානය පැසිෆික් සාගරයට කඩා වැටුණු පසු පාළු දූපතකට පිහිනා ගොසින් දිවි ගලවා ගන්නා ෆෙඩ් එක්ස් ‘කාස්ට් එවේ’ (Cast away) චිත්‍රපටයද මේ හා සමානය.

රොබින්සන් කෲසෝට නම් බිඳුණු නැවේ උන් ඌරන්, කුකුළන්, එළුවන් වැනි සතුන් පණපිටින් දූපතට ගෙන ඒමේ වාසනාව හිමිවුණේ එය ගිලාබසින්නට පෙරාතුව දූපත කිට්ටුවටම පාවී ආ බැවිනි. බිර පීප්ප පිටින්, ලණු කැරළි, ගොවි උපකරණ සේම නැවේ ලෑලිද ඔහුට ලැබුණෙන් හෙතෙම තම නුවණ මෙහෙයවා ඉදිකරන ලද අංග සම්පූර්ණ සත්ත්ව ගොවි‍පොළක සහ බළකොටුවක පරම හිමිකරු බවට පත්විය. විටින් විට මේ දූපතට ගොඩබට ගෝත්‍රිකයන් සහ මුහුදු කොල්ලකරුවන්ගෙන් ඔහු ආරක්ෂා වුණේ මේ ශක්තිමත් බළකොටුවේ මහිමයෙනි. මිනිසෙකුට ජීවත් වීමට දෑතේ වීරියෙන් ගොඩගනා ගන්නා ඔහු ඉතාමත් තෘප්තිමත් ස්වයං‍පෝෂිත මිනිසකු බවට පත්වෙයි.

එහෙත් අප මේ ෆෙඩ් එක්ස් නිලධාරියා නෝලැන්ඩ් හට නම් එවැනි වාසනාවක් හිමි නොවන්නේ ඔහු නැවකින් නොව ගුවන්යානයකින් මුහුදට ඇද වැටෙන බැවිනි. අමු මාළු බුදිමින්, ගිනි තපිමින් හුදෙකලාවෙන් ආතුරව කාලයක් දූපතේ කල්ගෙවන ඔහු අහම්බෙන් වෙරළට ගොඩගසන ලද ගුවන්යානයේ තිබූ පාර්සලයක් ලෙහා බලයි. එය සොකර් බෝලයකි. නෝලැන්ඩ් බෝලයට ඇස්, කන්, නාසා ඇඳ, විල්සන් යැයි නම්කර බෝලය තම හොඳම මිතුරා කරගනියි. ඔහු ඉක්බිතිව සියලු දුක් ගැහැට කියන්නේද, තම මානසික පීඩනය නිදහස් කරගැනීමට ගුටිබැට දෙන්නේද විල්සන්ටය.

අසාර්ථක උත්සාහයන් කීපයකට පසුව අන්තිමේදී කෙසේ හෝ පාරුවක් තනාගන්නා හෙතෙම විල්සන්ද කැටුව දූපතෙන් නික්මෙයි. නෝලැන්ඩ්ගේ සැබෑ ජීවන අරගලය පටන් ගන්නේ වසර ගණනාවක් අතුරුදන්ව සිටි මිනිසෙකු ලෙසින් යළිත් සිවිල් සමාජයට පැමිණි පසුවය.

අතිශයින් ජනප්‍රිය වූ මේ ‍පොතද චිත්‍රපටයද කල්පිතයන් මිස සැබෑ ජීවිතයේ කතාන්දර නොවේ.
එහෙත් අතපය හතර පමණක් ඇතිව පාළු දූපතකට පැමිණ දිවි ගැටගසා ගන්නා සැබෑම රොබින්සන් කෲසෝ කෙනෙකුගේ කතාවක් අපට ඔස්ට්‍රේලියාවෙන් අසන්නට ලැබුණි.

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලෑන්ඩ් ප්‍රාන්තයට කිලෝමීටර එක්දහස් පන්සීයක් ඈතින් පිහිටි රෙස්ටොරේෂන් නම් කුඩා දූපතක වසර විස්සක් තිස්සේ ජීවත් වන ඩේවිඩ් ග්ලැෂීන්ගේ තනියට හිඳින්නේ ක්වසායි නමැති බල්ලා පමණි. කෑම සඳහා මුහුදෙන් මාළු, කකුළුවන් අල්ලා ගන්නා ඔහු තමන්ට වුවමනා එළවළු, පලා ටික ගෙවත්තේ වගාකර ඇත. දේශීය පලතුරු, ‍පොල්, කෙසෙල් ගෙඩි ආදිය දූපතේ ඉබේ වැවෙයි. ඔහුගේ ගෙවත්තේ සියඹලා ගහක්ද, ඔස්ට්‍රේලියාවට ආවේණික වූ චෙරි ගහක්ද, දෙහි ගස්ද ඇත.

“මෙතැන කෑමට ගන්න පුළුවන් කහකොළ වර්ග තිස් පහක් විතර තියෙනවා.”
ඔහු තම ගෙවත්ත ගැන ආඩම්බර වෙයි. එහි ඵලදාව රැගෙන වසරකට වරක් හෙතෙම තම බෝට්ටුවෙන් කිලෝමීටර් අටසීයක් දුර ගෙවා ක්වීන්ස්ලෑන්ඩ්හි කේන්ස් දක්වා යයි. දූපතේදී ඔහුට වවා කියාගත නොහැකි අඩුවැඩිය සියල්ල කඩවලට ගොඩවී මිලට ගන්නේ මේ ගමනේදීය. කුළුබඩු, සෝස්, කිරිපිටි, තේ, කෝපි, ටින් කෑම වසරකට සෑහෙන සේ එකතු කරගන්නා ග්ලැෂීන් නිතර කෑමට නොලැබෙන බැවින් මස් ටිකක්ද මිලට ගන්නට අමතක නොකරයි. සති තුනකට වතාවක් ඔහු දූපතෙන් එහා පැත්තේ ස්වදේශික ඇබොරිජිනල් ජනාවාස වෙත යන්නේ බිත්තර සහ පාන් මිලදී ගැනීමටයි.

ඒ හැරුණු විට ඔහු පිටතින් කිසිවක් මිලට නොගනී. ග්ලැෂීන් ගෙදර හැදූ බිරවලට මිතුරු ටේ‍රා්ලර් යාත්‍රිකයන් අතර ඇත්තේ ලොකු ඉල්ලුමකි. ඔහු බියර් කාටූනයක් ටේ‍රා්ලර් යාන්ත්‍රිකයන්ට ලබාදී හුවමාරුවට මාළු කිලෝ විස්සක් ලබාගනියි.

කොටින්ම ග්ලැෂීන් කිසිදු අගහිඟයකින් තොරව ජීවත් වෙයි. ඔහුට නැතැයි කියන්නට දෙයක් නැත
ග්ලැෂීන්ට වැඩිපුර ඇඳුම් පැලඳුම් වුවමනා නැත්තේ ඔස්ට්‍රේලියාවේ සෙසු පළාත්වලට වඩා ක්වීන්ස්ලෑන්ඩ්හි ඇති උණුසුම් සැපදායී දේශගුණය හේතුවෙනි. එරට සෙසු පළාත්වලට වසරේ වැඩි කාලයක් ශීතල දැනෙන අතර වසර අගදී එළැඹෙන ගිම්හානය දරාගත නොහැකි තරම් උණුසුම්ය. එහෙත් වසර පුරා සෞම්‍ය කලාපීය දේශගුණයක් පවතින ක්වීන්ස්ලෑන්ඩ් ප්‍රාන්තය ‍පොල්, පුවක්, කොස්, අරලියා වැනි ලංකාවේ දැකිය හැකි ගහකොළින් ඵලබරය. එබැවින් දූපතේදී ඔහු ඇඳුම් අඳින්නේම නැති තරම්ය. අව්වට වැස්සට නිරාවරණය වූ ග්ලැෂීන්ගේ සම තලඑළෙළුපාටය. දූපතට අමුත්තන් එන බව පෙනුණහොත් හෙතෙම කොට කලිසමක් පමණක් අඳියි. ඉතාම විශේෂ අවස්ථාවක අඳින්නට එකම එක කමිසයක් සත්නකයේ තබාගෙන සිටි ග්ලැෂීන් වැරදීමකින්වත් පාවහන් නම් පලඳින්නේම නැත.

ඔහුගේ ගෙදර කුස්සියට බිත්ති නැත. එහි බිමට අතුරා ඇත්තේ කුඩාවට කැඩූ කොරල්ය. ඇත්තේ ටකරං වහලයකි. ගෘහ අලංකරණය සඳහා සීලිමේ මාළු දැල්, සිප්පි කටු, වීදුරු බෝල එල්ලා තිබේ. ඒ ගෙදර කිසිදු වටිනා කියන බඩුමුට්ටුවක් නැත. ඇත්තේ ඔහු අතින් නිමවූ රළු පරළු ලීබඩු කීපයක් පමණි. විවේකීව සිටිනා විට වාදනය කරන බිත්තියේ එල්ලා ඇති ගිටාරයට හැර අන් කිසිදු භෞතික වස්තුවකට ඔහු තුළ බැඳීමක් නැත.

දැනට හැත්තෑ හැවිරිදි ග්ලැෂීන් දූපතේ පදිංචියට එන්නට පෙර මීට විසි වසරකට මත්තෙන් ඉතා ධනවත්, කාර්යබහුල ව්‍යාපාරිකයෙකි. ඔහු තම සුඛෝපභෝගී ජීවිතය ගෙවන්නේ සමාන්‍යයෙන් ජීවන වියදම අධික යැයි සැලකෙන ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේය. අභාග්‍යසම්පන්න ලෙස ඔහුගේ පවුම් මිලියන 6.5ක ධනය විනාශ වී යන්නේ 87 වසරේ කොටස් වෙළෙඳ‍පොළ බිඳ වැටීමෙන් එහි කරන ලද ආයෝජනයකට පාඩු ලැබිමත් සමගය. ඒ හා සමාන්තරව විවාහ ජීවිතයද බිඳ වැටුණෙන් ග්ලැෂීන් කබලෙන් ළිපට ඇද වැටුණි.

එහෙත් වාසනාවකට හෙතෙම ඒ වනවිට මේ දූපත ආණ්ඩුවෙන් බද්දට ගෙන තිබුණි. එය හතළිස් තුන් අවුරුදු බද්දකි. කොන්දේසිය වූයේ තම ව්‍යාපාරික සගයා සමග එක්ව අඩු තරමේ ඔස්ට්‍රේලියන් ඩොලර් ලක්ෂ දෙකක්වත් වටිනා සංචාරක නිකේතනයක් සහ මාළු බෑමේ පහසුකම් ඇති අංගණයක් ඉදිකිරීමයි. (මාළු බෑම ඔස්ට්‍රේලියානුවන් අතර ජනප්‍රිය විනෝදාංශයකි) දැනට විසි වසරකට පෙර ඔස්ට්‍රේලියානු ඩොලර් දෙලක්ෂයක ව්‍යාපෘතියක් යනු අද වනවිට රුපියල් කෝටි තිහක පමණ ව්‍යාපෘතියකි. එහෙත් ධනවතකු වූ ග්ලැෂීන්ට එය ඒ හැටි අරුමයක් වූයේ නැත. ව්‍යාපාර විජිතය බිඳ වැටී අන්තිම සතයත් අහිමිවූ ග්ලැෂීන්ට මේ දූපත පමණක් ඉතිරි වුණේ එහෙමය.

එහෙත් දැනට අවුරුදු විස්සක් ගතවීත් එවැනි ඉදිකිරීමක් සිදුවන නැති බැවින් දූපතෙන් පිටමං වන්නට ඔහුට උසාවි නියෝග ලැබි තිබේ. උසාවි නියෝගය අලුයම කෙළ පිඬක් සේ ඉවත ලූ මේ මිනිසා කියන්නේ තමන් හෙට ගැන සිතමින් කරදර නොවන බවයි.

“බාගදා ඔය හෙට කියන දවසෙ මං මැරිල ඉන්නත් බැරි නෑ.”
ඔහු කියන්නේ සැහැල්ලු සිතින්ය.

“මට පදිංචියට එන්න කියලා වෙන රටවලිනුත් ආරාධනා ලැබුණා. ඒත් ඔස්ට්‍රේලියාව කියන්නෙ ජීවත් වෙන්න ඉතාම සුදුසු රටක්. මම මේ රට දාලා යන්නෙ නෑ. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ මෙහේ ඉන්න තරමක් ඉන්නෙ පල් මෝඩ, තකතීරු මිනිස්සු වීම. ඒ හින්දා මට මේ දූපතේ ජීවිතය සැපයි.”

කවුරු කුමන නියෝගය දුන්නද කවදා හෝ තමන් අවසන් හුස්ම ‍පොද හෙළන්නේ රෙස්ටොරේෂන් දූපතේ බව කියමින් ග්ලැෂීන් දහ අතේ දිවුරයි.

Ex Restoration Island Australia to the BUNDnLiving Remote on the Planet – David Glasheen on Restoration Island northern Australia – pics by Brian Cassey

නිස්කාන්සුවේ වන ලැහැබක ඉඳගෙන විටෙක ඔහු තමන් අවට ස්වභාවික පරිසරය රස විඳියි. කාලගුණ වෙනස්කම් ගැන ඔහු දැනුවත් වන්නේ සතුන්ගේ හැසිරීම් රටා නිරීක්ෂණය තුළිනි. ඉර පායා ඇති විට දූපතේ ජීවිතය මනරම්ය. වැහි පිට වැහි වැටෙන විටෙක නම් ඉතා කම්මැලිකමක් දැනෙයි. එවිට ගෙට ඇදෙන ගෝනුස්සන් ඔහු මරා දමන්නේ තම ඇඟිලිවලින් අල්ලලාය.

“ඒ ගැන මම දෙපාරක් හිතන්නෙ නැහැ. ස්වභාවික පරිසරයට මම ප්‍රතිචාර දක්වන්නෙ කැලෑ සතෙක් වගේ. මොනව හරි තර්ජනයක් තිබුණොත් මම ඒක විනාශ කරනව.”

එසේ කීවද කතා ‍පොතේ හිටි රොබින්සන් කෲසෝ වාගේ නොව, නූතන ඔස්ට්‍රේලියානු කෲසෝට සූර්ය බල ශක්තියෙන් වැඩ කරන පරිගණකයක්ද, අන්තර්ජාල පහසුකම් සහ ජංගම දුරකථනයක්ද තිබේ. එබැවින් ඔහු බාහිර සමාජයේ හැලහැප්පීම් ගැන සවිඥානිකය. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියා කීවා සේ ගැලැෂීන් තවමත් අන්තර්ජාලයේ පිරික්සන්නේ කොටස් වෙළෙඳ‍පොළ චලනයන් ගැනය. කාලයක් අන්තර්ජාලය හරහා සහකරුවන් සොයා දෙන ඒජන්සියකට බැඳුණු ඔහු මනාලියක සෙව්වේය. සිය ගණනක් ප්‍රතිචාර ලැබි තිබුණද ඒ කිසිවෙක් ඔහුගේ ජීවන රටාව දැනගත් විට දූපතේ වාසයට එන්නට කැමති වූයේ නැත. වතාවක් එසේ පැමිණි ළඳක්ද තමාව අතහැර ගිය බව ග්ලැෂීන් සිහිපත් කරන්නේ ශෝකයෙනි.

“මගේ හාමිනේ ඩැනිකාට සතියකට වතාවක් කොණ්ඩෙයි නිය‍පොතුයි හදාගන්න සැලුන් යන්න ඕනෑ වුණා. එහෙම කෙනෙක් එක්ක මේ ජීවිතේ අමාරුයි. එයා බොහොම සාමාන්‍ය ගෑනියෙක්. අපි නිතරම දබර වුණා. අන්තිමේදී උන්දෑ ළමයත් අරන් යන්න ගියා.”

වසරකට වතාවක් බඩුමුට්ටු ගෙන එන්නට කේන්ස් දක්වා යන ගමනේදී ග්ලැෂියේ තම 14 හැවිරිදි පුත්‍රයා දැක ගනියි. පාසල් නිවාඩුව ගෙවන්නට ළමයා දූපතට එන්නට පුරුදුව සිටියි.

“දැන් නම් මට බලා‍පොරොත්තු තියාගන්ඩ සිද්ධවෙලා තියෙන්නෙ මුහුදෙන් මතුවෙන දිය කිඳුරියක් ගැන විතරයි.”
තනිකඩ ජීවිතය ගැන පශ්චාත්තාපයක් තිබුණද ගැල්ෂින් තමන්ව හඳුන්වා ගන්නේ මෙලොව ජීවත්වන වාසනාවන්තම මිනිසා ලෙසිනි. ඒ හිතේ බරක් නැති සැහැල්ලු ජීවිතයක් තමන්ට උරුමව ඇති බැවිනි. සොබාදහමට පින් සිදුවන්නට ඔහුට යහමින් කා බි ජීවත් වන්නට අවශ්‍ය සෑම දෙයක්ම නොමි‍ලේ ලැබෙයි.

“සල්ලි තිබුණ කාලෙ වගේ ‍නෙවෙයි මම සැබෑවටම ජීවත් වෙන්නෙ දැනුයි. තනියම හැමදේම කරගන්න පටන් ගත්තට පස්සෙ මං ජීවිතේට එකතු කරගත්තු කුසලතා බොහොමයක් තියෙනවා. අවංක බව, විශ්වාසය වගේ සුළු දේවල් ඇතුළේ ඇති ගැඹුර මට හරියටම වැටහෙන්නේ දැනුයි.”
වතාවක් ඔහු පුවත්පතකට ප්‍රකාශ කර තිබුණි. ඒ සියල්ලටමත් වඩා තමන් උගත් වටිනාම පාඩම යනුවෙන් ග්ලැෂින් කියා තිබුණේ මෙවැන්නකි.

“ජීවත් වෙන්න මිනිහෙකුට මහා දේවල් වුවමනා නැහැ. බොහොම සුළු දේවල් ටිකක් තිබුණාම ඇති.”
මේ පාඩම ඉගෙන ගන්නට ඔහු ඩොලර් මිලියන ගණනක් වියදම් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන ගමන් යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

උපුටා ගැනීම – රිවිර පුවත්පත

Add Comment