ගෙයක් හදනකොට මේ දේවල් 13 අමතක කරන්න එපා

ගෙයක් හදන එක බොහොම කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. මොකද, ජීවිත කාලෙම පවතින්න පුළුවන් හෙවණක් එක පාරින්ම හදාගත්තේ නැත්නම් වැද්දෝ ගෙවල් හැදුවාටත් වඩා ඒක නරක අතට හැරෙන්න පුළුවන්.

ගේ හදන්න පටන් ගන්න කලින් සම්පූර්ණ නිවස සඳහා ම මිල ගණන් ඇස්තමේන්තුවක් හදාගන්න. එතකොට ගේ හදන එක අතරමඟ නවත්වන්නේ නැතිව
එකම ඉලක්කයකින් කරගෙන යන්න පුළුවන්. එය කාලානුරූපව සිදුවන මිල ගණන් වෙනස් වීම් වලටත් ගැලපෙන පරිදි සකසාගන්න.

දැන් ගේ හදන්න මේසන් බාස් කෙනෙක් හොයාගන්න ඕන. කොන්ත්‍රාත් දුන්නාම ගේ හදන බඩුත් එයාම ගේන නිසා ඔබට පහසු නමුත් මුදල සහ භාණ්ඩවල ගුණාත්මක භාවය අනුව සැලකුවාම දවස් කුලියට කරන එක සමහරවිට පහසුවක් වෙයි. අත් උදව්වටත් හොඳ ගෝලයන් ටිකක් හිටියොත් ඉක්මණින් වැඩ ටික කරගන්න පුළුවන්. හැබැයි එයාලාගේ වැඩ සහ මිල කොහොමද කියලා ටිකක් ආරංචි කරලා බලන එක හොඳයි.

නිවස හදන්න බඩු ගෙනෙද්දී ගාස්තු අවම කරගන්නට ළඟ ස්ථානයකින් භාණ්ඩ ගෙන ඒම, ප්‍රවාහන ගාස්තු අඩු අත් ට්‍රැක්ටරයක් භාවිතා කිරීම, හැකිනම් අවශ්‍ය බඩු බොහොමයක් එකවර ගෙන ඒම සිදුකරන්නට පුළුවන්.

Column box, සැටරිම ආදිය හයර් කරනවා නම් වැසි නැති බව සහ බාස්ලා එක දිගට එන බව දැනගෙන ගෙන ආවොත් වැඩ නොකරන දිනවලටත් කුලී ගෙවන්න වෙන්නේ නැහැ. මේ වගේ පොඩි පොඩි වියදම් ගැන සැලකිලිමත් වුණොත් එක දිගට ම නිවස හදාගෙන යන්න මුදල් අතින් බාධාවක් වෙන එකක් නැහැ.

ගෙදර බිත්ති බඳිද්දී ශක්තිය, කල් පැවැත්ම හා සිසිලස පවත්වා ගන්නට රතු ගඩොල් භාවිතා කරන්නට පුළුවන්. නමුත් ගතවන කාලය සහ වියදම අතින් සිමෙන්ති ගඩොල් ලාභදායකයි. ඒ නිසා බිම් මහළ රතු ගඩොලිනුත් ඉතිරිය සිමෙන්ති ගඩොලින් ද බඳින්නට බොහෝ දෙනෙක් පෙළඹෙනවා. බිත්ති බැඳීමේදී එකවරින් ම ඍජුව බැඳ ගත්තොත් ඇද වහන්නට කපරාරුව වැඩියෙන් යොදන්නට සිදු වෙන්නේ නැහැ.

ඒවගේ ම බිත්ති සහ ස්ලැබ් එක ජලය කාන්දු නොවන ලෙස මුලදී ම සකසා ගත්තොත් පසු කාලීනව ඇතිවන පැල්ලම් මකන්නට වැඩිපුර වියදම් කරන්නට අවශ්‍ය වෙන එකකුත් නැහැ. උදාහරණයක් වශයෙන් ඔබ රූෆ් ටොප් ගාර්ඩ්න් එකක් සැලසුම් කරනවා නම් ස්ලැබ් එකේ ජල කාන්දුවීම් ගැනත් ටිකක් වැඩිපුර වියදමක් දරලා හදාගත්තොත් ඒක ඇඟට ගුණයි.

බොක්ස් ආකාරයේ නිවසක් හදනවා නම් බිත්ති තෙමෙන ප්‍රමාණය වැඩි නිසා ප්‍රමිතියෙන් වැඩි තීන්ත වර්ගයක් භාවිතා කළ යුතු වෙනවා.

ජල නල මාර්ග සහ විදුලිය සඳහා හොඳින් සැලසුම් කර එම සැලසුම් සටහන් ළඟ තබාගත්තොත් බිත්ති කැඩීම් අවම කරගෙන අලුත්වැඩියාවන් ද පහසු කර ගන්නට පුළුවන්.

මේ ලිපිය ඔයාගේ යාළුවන්ටත් බලන්න Share කරන්න මතක කරන්නත් එපා.

Add Comment