දළදා වහන්සේ වෙනුවෙන් කරන ලොව අන් කිසිදු ස්ථානයක නොමැති චාරිත්‍ර ගැන ඔබ නොදත් රහස්

ශ්‍රී ලංකාව වනාහි භූගෝලීය වශයෙන් සලකා බලන කළ ඉන්දියාව සමීපයේ පිහිටි කුඩා දිවයිනකි. මේ නිසාම ආගමික, සංස්කෘතික, දේශපාලනික මෙන්ම ආර්ථික සබඳතා ද දෙරට අතර අතීතයේ සිටම පැවති බව පැහැදිලි කරුණකි.

බුදු පියාණන් වහන්සේ ඉන්දියාවේ ඉපිද ඒ රටෙහි දීම බුද්ධත්වය ලබා එහිම පිරිණිවන් පෑවද සියවස් ගණනාවක් යෑමෙන් පසු හින්දු සමය එරටෙහි ඉස්මතු වීමේ ප්‍රතිඵලයක් ලෙස අනේක විධ පූජා වස්තූන් ආරක්ෂාව පිණිස වරින් වර ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ බව ඓතිහාසික සත්‍යයකි. එසේ වැඩම කළ සර්වඥ ධාතුන් වහන්සේලා අතර දළඳා වහන්සේට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ක්‍රි. ව. 04 වන සියවසේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු දවස හේමමාලා සහ දන්ත කුමරුන් විසින් මෙරටට වැඩම කරන ලද දළදා වහන්සේ අනෙකුත් පූජ්‍ය වස්තූන් මෙන් ස්ථූපයක් තුළ නිධන් නොකොට, “ධම්මචක්කගේහ” නම් වූ මුල්ම දළදා මැදුර තුළ තැන්පත්කොට අන් අයට සියැසින් දැක වැඳපුදා ගතහැකි ලෙස පැවතීම නිසාත්, සුවාසු දහසක් ධර්මස්කන්ධයේ පහස ලද පූජ්‍ය වස්තුවක් වීම නිසාත්, දළදා වහන්සේ විෂයෙහි ආරම්භයේ සිට සෙසු ධාතුන් වහන්සේලාට වඩා සුවිශේෂ ගෞරවයක් ඇති වන්නට හේතු වූවා විය හැක. මේ නිසාම දළදා වහන්සේ අනෙකුත් පූජ්‍ය වස්තුන්ට වඩා ශ්‍රේෂ්ඨත්වයට පත්වූවා පමණක් නොව රාජකීයන්ගේ හස්ත සාර වස්තුවක් බවට ද කල්යාමේ දී පත්විය. එබැවින් දළදා වහන්සේ විෂයෙහි පවත්වන ලද මෙම පූජා චාරිත්‍ර තුළද ආරම්භයේ සිටම යම් සුවිශේෂ බවක් දක්නට ලැබුණි.

රාජධානි වෙනස්වීමත් සමඟ දළදා වහන්සේ ද ඒ ඒ ස්ථානවලට වැඩම කළ අතර මෙකී පූජා චාරිත්‍රයන්හි ද ක්‍රමික විකාශනයක් ඒ නිසාම සිදුවිය. ඇතැම් විට ඒවායේ උන්නතියක් මෙන්ම අවනතියක් ද ප්‍රකට වූ අවස්ථා බොහෝ ය. නිදසුනක් ලෙස, අනුරපුර රාජධානියේ පශ්චාත් කාලය වනවිට දළඳා වහන්සේ විෂයෙහි පැවැත්වූ පූජා චාරිත්‍ර පිළිබඳ තොරතුරු අනාවරණය නොවන අතර පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රාජ සමය තුළ දළදා වහන්සේ විෂයෙහි සුවිශේෂ පූජාවිධි රාශියක් පවත්වන ලද බව පෙනේ. වර්තමාන පූජා චාරිත්‍රයන්හි ක්‍රමික ආරම්භයක් සිදුවූයේ මහනුවර රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සමය තුළ බව ප්‍රකට සත්‍යයකි. දළඳා වහන්සේ උදෙසා පැවැත්වූ මෙම පුද පූජාවන් යම්කිසි ශෛලිගත ක්‍රමයකට ගොනුු කරන ලද්දේ මෙතුමා විසිනි. එහිලා භික්ෂූන් වහන්සේලා විසින් සිදුකළයුතු කාර්ය භාරය උභය මහා විහාරීය මහා සංඝ රත්නය වෙත පැවරුණු අතර උන්වහන්සේලාගේ සහය පිණිස ගිහි තේවා කට්ටලයක් ද පත්කරන ලදී.

මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලමහ නා හිමි
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමි

දළදා වහන්සේට හිමිවූ මෙම සුවිශේෂී භාවය කොතෙක්ද යත් සමස්ත ලෝකවාසීන් විසින්ම දළඳා වහන්සේ ජීවමාන බුදුරදුන් ලෙසම සලකන තරමටම ජන විඤානය තුළට එය කිඳා බැස ඇත. මේ නිසාම දළඳා වහන්සේ විෂයෙහි පවත්වන පුද පූජාවන් ද ඒ හා සබැඳි චාරිත්‍ර වාරිත්‍ර ද එදා ජීවමාන බුදරදුන් උදෙසා නිත්‍ය උපස්ථායක අනඳ හිමියන් විසින් සිදුකළ සෝළස උපස්ථානය ඇසුරින් සකස්වී වඩා වර්ධනය වී ඇත. ලොව අන් කිසිදු ස්ථානයක දැකිය නොහැකි දළදා මාලිගයටම ආවේණික වූ මෙකී පූජාවන් සිදුකරන ආකාරය අනුව ඒවා කොටස් තුනකට බෙදිය හැකිය.

01. දෛනික පූජා
02. සප්තාහික පූජා (සතියකට වරක් කරන ලද )
03. වාර්ෂික පූජා

එයින් දෛනික පූජා යනුවෙන් අදහස් කරන්නේ දළදා වහන්සේට දිනපතා කරන පූජාවන් ය. එය ද දවසේ අවස්ථා තුනකදි සිදුකරනු ලැබේ.

01. අළුයම පූජාව
02. නව පෑ පූජාව
03. හැන්දෑ පූජාව

අළුයම 05. 15 ට “අළුයම්දුරේ” හේවිසි වාදනය ආරම්භවන අතර ඉන් විනාඩි පහළොවක් පමණ ගියපසු එනම් 05. 30 ට පමණ තේවාව භාර නායක ස්වාමීන් වහන්සේ පෙරටුකොට ගනිමින් ගිහි පැවිදි තේවා කට්ටලය වැඩ සිටින මාලිගයේ දොරවල් විවෘතකොට උදෑසන තේවාව සිදු කරනු ලබයි. උඩුමාලේ තේවාවට නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සමඟ තවත් එක් නමක් හෝ දෙනමක් සහභාගි වෙති. ඒ අනුව අස්ගිරි මල්වතු උභය මහා විහාරයේ අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හෝ උන්වහන්සේලා නියම කරන පස් නමක් අදාළ විහාර පාර්ශ්වයේ තේවා කාලය තුළ වසරක් පුරාවට තේවාවේ නියැලී සිටිති. වට්ටෝරු රාළ, ගෙපරාළ, කත්තියනරාළ, හක්ගෙඩිරාළ යන නිලයන්ට අයත් රාජකාරි කරුවන් මෙකී තේවාවට සහභාගි වන ගිහි පිරිස අතර වෙති. තේවාවෙන් පසු අළුයම 06 ට මුළුතැන් බුද්ධ පූජාව පැවැත්වෙන අතර එය හාල් සේරු 32 කින් සහ ව්‍යඤ්ජන 32 කින් සමන්විත වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සිය රාජ භෝජනය දළදා සමිඳුට කැපකොට දිනපතා එලෙස බුද්ධ පූජාව පැවැත්වීම සඳහා ගම්වර දහයක් ද දළඳා සමිඳුට පූජාකර ඇත.

සෙසු විහාරස්ථානවල බුදුපියාණන් වහන්සේ උදෙසා පවත්වන පූජාව “බුද්ධ පූජාව” ලෙස හැඳින්වෙන අතර දළදා මාලිගාවේ පවත්වන පූජාව “මුළුතැන් පූජාව” යනුවෙන් හැඳින්වීම ද විශේෂත්වයක් ගනී. එදා රජ මාලිගාවේ මුළුතැන්ගේ සකස් කළ පූජාව හේම කඳින් දළදා වහන්සේ වැඩ සිටින දළදාගෙට වඩමවා ගොස් මහරන් පාත්‍රවල තැම්පත් කොට දළදා වහන්සේට පූජා කිරීම එකළ පැවති චාරිත්‍රය යි. අදත් එය දළදා මාලිගයෙහි ඇති මුළුතැන් ගේ තුළදී සකස් කොට හේම කඳින් වැඩමවා ගොස් පූජා කෙරෙන නිසා එය හඳුන්වන්නේ මුළුතැන් පූජාව යනුවෙනි.

අනතුරුව නව පෑ පූජාව හෙවත් දහවල් පූජාව ආරම්භ වන්නේ පෙ. ව. 10. 00 ට පමණය. ඒ සඳහා මාලිගාවේ දොරවල් විවෘත කිරීම පෙ. ව. 09. 30 ට සිදු වේ. අළුයම පූජාව මෙන් මෙහිදී ද හාල්සේරු 32 කින් හා ව්‍යඤ්ජන 32කින් සමන්විත වූ මහමුළුතැන් පූජාව පවත්වනු ලැබේ. පංචතූර්ය නාද මධ්‍යයේ ඉපැරැණි චාරිත්‍රානුකූලව මෙකී පූජාවන් පැවැත්වීම අද දක්වා නොවෙනස්ව පවතී. දහවල් පූජාව නිමවීමෙන් පසු පෙ. ව. 11. 00 ට පමණ දළදා ගේ දොරවල් වසා තබනු ලැබේ. යළිත් ප. ව. 06. 15 ට හැන්දෑ පූජාව හෙවත් සවස තේවාවට පෙරාතුව හැන්දෑ දුරය නම් වූ හේවිසි පූජාව ආරම්භ කරනු ලබයි. ඉන් විනාඩි 15 කට පසු එනම් 06. 30ට තේවාභාර නායක තෙරුන් සමඟ ගිහි පැවිදි තේවා කට්ටලය දළදා ගෙට ඇතුළුවී හැන්දෑ තේවාව සිදු කිරීමෙන් අනතුරුව ප. ව. 07. 00 පානීය වර්ග 14 කින් සමන්විත සුවිශේෂ ගිලන්පස පූජාවක් පවත්වනු ලැබේ. වෙනත් කිසිඳු තැනක නොමැති ආකාරයට දෙවැනි ගිලන්පස නමින් ප.ව. 07. 30ට නැවත ගිලන්පස පූජාවක් පැවැත්වීම ද විශේෂත්වයක් ගනියි. ඒ රජතුමා දිනක් රජ වාසලින් සකස් කරගෙන ආ ගිලන්පස ප්‍රමාද වූ නිසා ආරම්භ වූ චාරිත්‍රයක් යැයි කියනු ලැබේ.

දවසේ තුන්විටක් සිදු කරන මෙම පුජා චාරිත්‍ර නිමවා දළදා ගේ දොරවල් වැසීමෙන් පසු එකිනෙක දොරවල් පරීක්‍ෂා කොට බැලීම තේවාභාර නායක තෙරුන් විසින් සිදු කළ යුතුය. තවද රාත්‍රි තේවාවෙන් පසු පසුදා පහන් වනතුරු දළදා ගේ ආරක්‍ෂා කිරීම සඳහා හේවිසි කරුවන්ගෙන් දෙදෙනෙකු නම නියම කොට තැබීම ද තේවාභාර නායක තෙරුන් ඉදිරියේ රාළ කෙනෙකු විසින් සිදු කළ යුතුය.

සෑම විටකම තේවාව නිම වී තේවාභාර නා හිමියන්ගේ කාමරයට යන සියලු රාජකාරි කරුවන් වැඩ හිඳින මාලිගයේ යතුරු නාහිමිගේ කාමරයේ ඇති යකඩ සේප්පු ව තුළ තැන්පත් කොට තේවාවේ නියුතු නාහිමි වරුනට වැඳ ආචාර කොට පිටව යාමද දළදා මාලිගයෙහි දක්නට ලැබෙන විශේෂ චාරිත්‍ර අතර වේ.

මීට අමතරව දළදා වහන්සේ උදෙසා සෑම සතියකම බදාදා දින සිදු කෙරෙන නානුමුර මංගල්‍යය නම් වූ විශේෂ පූජාවක් ඇත. මේ හා බැඳී ඇත්තේ ද සුවිශේෂ චාරිත්‍ර සමුදායකි. අඟහරුවාදා දින සවස පූජාව නිමවා දළදාගෙහි ඇති අනවශ්‍ය පුද පූජා ද්‍රව්‍ය ඉවත් කොට පවිත්‍ර කළයුතුය. බදාදා දින අළුයම තේවාව නිමවා ගන්ධ කුටිය සහ වැඩසිටින මාලිගයෙහි අනෙකුත් තැන් සියල්ල ශුද්ධ පවිත්‍ර කරනු ලබයි. සියලු පූජා භාණ්ඩ සෝදා පිරිසුදු කොට සුවඳ දුම් අල්ලා දහවල් නානුමුර මංගල්‍යයට සකස්කොට තැබිම මෙදින සිදුවෙන විශේෂිත කාර්යයකි. අනතුරුව දහවල් තේවාවට පෙර ගිහි පැවිදි තේවා කට්ටලය දෙහි ඇඹුල් ගා ස්නානය කිරීම සහ අලුත් සිවුරු හැඳ පෙරවීම සිදුකළ යුතුය.

බදාදා දිනවල මෙම නානුමුර මංගල්‍යය සඳහා පෙරවරු 09. 15 ට පමණ දළදා වහන්සේ වැඩ සිටින මාලයේ දොරවල් විවෘත කරනු ලැබේ. කාරිය කෝරාළගේ නියමය පරිදි ඒවන විට පෞරාණික ඖෂධ වට්ටෝරුවලට අනුකූලව නානු විශේෂයක් මුලුතැන්ගේ සකස් කොට තබයි. ගෙපරාළ විසින් එම නානු ශබ්ද පූජා මධ්‍යයයේ උඩුමහලට රැගෙනවිත් වට්ටෝරු රාළ හරහා තේවාභාර නාහිමියන් වෙත භාර දෙයි. අනතුරුව ගන්ධකුටිය තුළින් ලබාදෙන දැනුම්දීම අනුව හක්ගෙඩිරාළ සක් පිඹින අතර හේවිසි ගැසීම, කවි ගායනා කිරීම වැනි කටයුතු සමඟ නානුමුර මංගල්‍යය සිදුකරයි. එම අවස්ථාව අන් අයට දැක බලාගත නොහැකි ය. එකී නානුමුර මංගල්‍යයට යොදාගනු ලබන නානු ආශිර්වාදාත්මක මෙන්ම ඖෂධ ගුණයෙන් ද යුතු බැවින් ඒවා ලබාගැනීම සඳහා විශාල පිරිසක් ඒකරාශි වී සිටිති. එසේම බිලිඳු දරුවන් දළදා සමිදුන්ට භාර කිරීම සඳහා වැඩි වශයෙන් රැගෙන එන්නේ ද මෙම නානුමුර මංගල්‍යය දවසේම ය.

දළදා වහන්සේ උදෙසා පැවැත්වෙන වාර්ෂික පූජාවන් ලෙස සැලකෙන්නේ සතර මංගල්‍ය පූජාවයි.

එනම්

01. අලුත් සහල් මංගල්‍යය
02. අලුත් අවුරුදු මංගල්‍යය
03. පෙරහර මංගල්‍යය
04. කාර්තික මංගල්‍යය

අලුත් සහල් මංගල්‍යය යනුවෙන් අදහස් කරන්නේ දළදා මාලිගාවට අයත් කුණ්ඩසාලේ සහල් ගබඩාවෙන් දළදා මාලිගාව ඇතුලු විහාර දේවාලවලට බෙදාදෙනු ලබන අග්‍ර ශස්‍ය වලින් හාල් සේරු 80 ක දානය පිළියෙළ කොට දළදා මාලිගාවේ ඇති කිරිබොඩ පාත්‍රයට පුරවා පුජා කිරීමයි. මෙය ජනවාරි මස එළඹෙන දුරුතු පුර පසළොස්වක් පොහෝ දින සිදු කෙරේ.

වාර්ෂික මංගල්‍යය අතර අලුත් අවුරුදු මංගල්‍යය ද දළදා මාලිගාවේ පූජා චාරිත්‍ර අතර වැදගත් තැනක් ගනියි. සිංහල හා හින්දු අලුත් අවුරුදුවලට කෙරෙන චාරිත්‍ර දළදා මාලිගාවට ආවේණික පරිදි සිදුකිරීම මෙයින් අදහස් කෙරේ. දළදා මාලිගාවේ නැකත් මොහොට්ටාල විසින් සකස් කරනු ලබන සුබ මුහුර්තීන් වලට අනුව ලිප් ගිනි මෙළවීම, කිරිබත් පිසීම, කණ්ඨස්නානය කිරීම වැනි විශේෂ පුජා සමුදායක් මේ යටතේ සිදු කරනු ලබයි. ඒවා හුදෙක් පෞරාණික චාරිත්‍රානුකූලවම සිදුකිරීම මෙහි ඇති විශේෂත්වය යි.

මෙයිනුදු පෙරහර මංගල්‍යය හෙවත් ඇසළ මංගල්‍යය දළදා වහන්සේ උදෙසා පැවැත්වෙන පුජා චාරිත්‍ර අතර සුවිශේෂි තැනැක් උසුලනු ලබයි. කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුවී සිටි ප්‍රාග් බෞද්ධ වැසියෝ නිසිකලට වැසි ඵල ලබා ගැනීමේ අටියෙන් අව්වැසි ආදිය දේවත්වයෙන් සළකා නොයෙක් පූජාවන් පැවැත්වීමට පුරුදු වී සිටියහ. බුදු දහම මෙරටට හඳුන්වා දීමත් සමඟ එකී ප්‍රාථමික විශ්වාස බුදු දහම සමඟ මිශ්‍ර වී විකාශනය වී ගිය බව පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස දළදා වහන්සේ මෙරටට වැඩම වීමත් සමඟ දළදා වහන්සේ ගේ පිහිට ආරක්‍ෂාව තුළින් නිසිකල වැසි ඵල ලබා සිය ගොවිතැන් බත් කටයුතු සාර්ථක කරගත හැකි බව ඔවුහු විශ්වාස කළහ.

අතීතයේ සිටි පැරැන්නෝ ඇසළ මාසය දෙවියන් උදෙසා කැපකළ මාසයක් සේ සැලකූහ. දෙවියන්ගේ ආශිර්වාදය වෙනුවට දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබනු වස් ඇසළ මාසය තුළ පෙරහර පැවැත්වීමට ඔවුහු උත්සුක වූහ. මහනුවර රාජධානි සමය වන විට දේවාල පෙරහරට පමණක් සීමාවී තිබූ මෙම ඇසළ පෙරහර ස්‍යාමෝපසම්පදාව පිහිටුවීම සඳහා සියම් රටින් මෙරටට වැඩි ප්‍රවර උපාලි මහ තෙරුන්ගේ සහ උභය මහා විහාරයේ මහානායක හිමිවරුන්ගේ මග පෙන්වීම අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් දළදා පෙරහර ද ඊට එකතු කොට වර්තමාන පෙරහර සමාරම්භ කළ බව පිළිගැනේ. සතර දේවාලවල කප් සිටුවීමේ චාරිත්‍රයෙන් වර්තමාන පෙරහරේ සමාරම්භය සිදුවන අතර දින 05 ක් කුඹල් පෙරහර ද දින 05 ක් රන්දෝලි පෙරහර ද පවත්වා දිය කැපීමේ මංගල්‍යයෙන් මෙකී ඇසළ පෙරහර නිමාවට පත්වේ.

නොවැම්බර් මසට යෙදෙන ඉල් පොහෝ දින කාර්තික මංගල්‍යය පවත්වනු ලැබේ. ඊට දින කිහිපයකට පෙර ශ්‍රී නාථ දේවාලයේ දී ශ්‍රී දළදා මාලිගාව, සතර දේවාල සහ අවට පෞරාණික විහාරස්ථාන කිහිපයකට පහන් දැල්වීම සඳහා තෙල් බෙදාදීම එදා රජතුමා විසින් සිදු කර ඇත. එම කාර්යය අද ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේතුමා වෙනුවෙන් කාරිය කරවන රාළ විසින් සිදු කරනු ලැබේ. මෙම තෙල්වලින් ඉල් පොහෝ දින අදාළ සිද්ධස්ථානවල එකවිට පහන් දැල්වීමෙන් රජතුමාගේ අණසක ක්‍රියාත්මක කිරීමත් එතුමන්ට ආශිර්වාද කිරීමත් අපේක්ෂා කළ බව පෙනේ.

මේ අන්දමට දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ අවදියේ පටන්ම දළදා වහන්සේ උදෙසා ආරම්භ වූ මෙකී පුද පූජා විධි අද දක්වාම නොනැසී පැවතීම මෙහිලා දැකිය හැකි විශේෂත්වය යි. දළදා වහන්සේගේ වත්මන් භාරකාරත්වය දරන උභය මහා විහාරයේ අතිපූජ්‍ය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දෙනමත් දියවඩන නිලමේතුමාත් එමෙන්ම අඛණ්ඩව කටයුතුවල නියැලෙන (මුර මාරු ක්‍රමයට) උභය මහා විහාරිය මහා සංඝයා වහන්සේත් උත්සුක වන්නේ මෙම පෞරාණික චාරිත්‍ර විධි ආරක්‍ෂා කර ගනිමින් එදා රාජකීයයන් විසින් දළදා වහන්සේ උදෙසා ඇති කළ මෙම පුජා විධීන් මතුවටත් ආරක්ෂාකර තැබීමටයි.

මේ වටිනා ලිපිය තවත් කෙනෙකුට බලන්න ශෙයා කරන්නත් අමතක කරන්න එපා!

Add Comment