පැති 15 එකිනෙකට වෙනස් කොළඹ 1 සිට 15

කොළඹ 01 – කොටුව
චීනෙදි චීනෙක් අතරමං වුනොත් පුදුම කට්ටක් කන්න වෙන්නෙ හොයාගන්න. හේතුව ඔක්කොම චීන්නු එක වගේ නිසයි. කොටුවෙදි චීනෙක් නෙමෙයි අලියෙක් අතුරුදන් වුනත් හොයන්න අමාරුයි. ඒ තරමට සෙනග. ඊටත් වඩා සද්ද. පරිස්සං වෙන්න ඕන කාරණා මහ ගොඩක් පාරෙ තියෙනවා. ගෝල් ෆේස් යන්න නං හැමෝම එනවනෙ. ඊටත් වඩා කියන්න තියෙන්නෙ කොටුවෙ තියෙන පරණ ලස්සන බිල්ඩිං ටික බලන්න කියලා තමයි.

කොළඹ 02 – කොම්පඤ්ඤවීදිය
කොම්පඤ්ඤවීදිය ප්‍රසිද්ධ වෙන්න හේතු ගොඩයි. නවලෝක ඉස්පිරිතාලෙ, බර්ගර්ස් කිං කඩේ වගේම කොම්පඤ්ඤවීදියට එහා පැත්තෙ තියෙන ගංගාරාම පන්සලයි, බේරෙ වැවයිත් ඒකට හේතු වෙනව. තව ඕනනම් සම්පත් හෙඩ් ඔෆිස් එකත් නම් කරන්න පුළුවන්. කොම්පඤ්ඤවීදියට හරස් පාරවල් ගොඩයි. කොම්පඤ්ඤවීදියෙ හැංගිලා තියෙනවා A One කියලා වෙජිටේරියන් කඩයක්. ඒගොලොන්ගෙ හතු කොත්තුව සුපිරි. රුපියල් සීයයි.

කොළඹ 03 – කොල්ලුපිටිය
ගෑනු ඉස්කෝල, පිරිමි ඉස්කෝල, ඉස්පිරිතාල, ෂොපින් මෝල්, බැංකු, ෆිල්ම් හෝල්, කෑම කඩ, ඔෆිස් යනාදී සියළු දේ එකම තැනක තියෙන විදියට කොල්ලුපිටිය හඳුන්වන්න පුළුවන්. තත්ත්වයෙන් නං උසස් විදියට කියවුනත් කොල්ලුපිටියෙ හැම තරාතිරමෙම මිනිස්සු ඉන්නවා.

කොළඹ 04 – බම්බලපිටිය
කොටුවට පස්සෙ මිනිස්සු වැඩියෙම්ම ගැවසෙන තැන තමයි බම්බලපිටිය. එහෙම වෙන්න ප්‍රධානම හේතුවක් විදියට බම්බලපිටියෙ මහා MC රාජයා හඳුන්වන්න පුළුවන්. ඊටත් අමතරව බම්බලපිටිය තුළ තියෙන අටෝරාසියක් පොඩි පොඩි බිස්නස් ප්ලේසස් ටිකත් ඒකට හේතුවක්.

කොළඹ 05 – හැවුලොක් ටවුන්
ට්‍රැෆික් එපා කියලා හිතෙන තැනක් විදියට මේ හැවුලොක් ටවුන් ප්‍රදේශය හඳුන්වන්න පුළුවන්. පාරවල් ලොකුයි. කලර් ලයිට් අඩුයි. හැබැයි ට්‍රැෆික් තියෙනවා ඕසෙට. ස්කූල් ටයිම් ගියොත් ඉතිං බලං ඉන්න තමයි තියෙන්නෙ. සමහර මිනිස්සු කඩවල්වලින් කාල එනව ට්‍රැෆික් වෙලාවෙදි ගිහිල්ලා.

කොළඹ 06 – වැල්ලවත්ත, පාමංකඩ, කිරුලපන දකුණ
ට්‍රැෆික් වැඩියි වගේම මේ පැත්තෙ ප්‍රසිද්ධ නැති රස කෑම කඩ තියෙනව. රවුමක් ගහල බලන්න වටිනවා. දැඩි ලෙස මිනිස්සු පදිංචි පැත්තක්. ඒ වගේම මේ පැත්තෙ පොලිස් මාමලත් ටිකක් සැරයි. වැල්ලවත්තට නං කියන්නෙ පුංචි යාපනේ කියලනෙ. වැල්ලවත්ත තවත් ප්‍රසිද්ධ අලුතෙන් හැදිච්ච මරීන් ඩ්‍රයිවු එකත් එක්ක ඒ වටේ හැදිච්ච රෙස්ටුවරන්ට්, බිස්නස් සහ ඒ අවට ඇවිදින්න එන කට්ටිය නිසායි.

කොළඹ 07 – සිනමන් ගාඩ්න්ස්
මේ තමයි කොළඹ ඉන්න සුපිරිම පැළැන්තිය ජීවත් වෙන පැත්ත. මහ ලොකුවට බිස්නස් නැහැ. නිස්කලංක පරිසරයක් තියෙනව කියලා කියන්න පුළුවන්. රාජ්‍ය ආයතන තමයි වැඩි. ආණ්ඩුවෙන් හදපු ලෙෂර් රෙස්ටිං ප්ලේසස් බහුල පැත්තක්. නිදහස් චතුරස්‍රේ පැත්තෙ එක්සසයිස් කරන අන්කල්ලා ආන්ටිලා වගේම විහාර මහාදේවී පාක් එක පැත්තෙ ඉන්න කපල්වලටත් මේක ආසා හිතෙන පැත්තක්. කෝටියක් විතර දීලා පර්ච් එකක් ගන්න කියාපු පැත්ත.

කොළඹ 08 – බොරැල්ල
දෙලොවක් අතර පිහිටා තියෙන්නෙ බොරැල්ලෙයි. දේවි බාලිකා විද්‍යාලයට ඒ නම වැටෙන්න ඉපදෙන්න ප්‍රසිද්ධ කාසල් කාන්තා ‍රෝහලත්, මැරුණම ප්‍රසිද්ධ බොරැල්ල කනත්තත් මැද්දෙ ඒක පිහිටපු නිසයි. පිටකොටුවෙදි වගේම බොරැල්ලෙදිත් හුඟක් ලාබෙට බඩු ගන්න පුළුවන්. ඔන්න ඉතිං ට්‍රැෆික් තියෙන පැති. මේ පාරෙ බස්වලින් වයස හැත්තෑවෙ විතර ආච්චිලා බස් යද්දිම බහිනවා. සමහර කට්ටිය බස් එකේ හෙවනට මුවා වෙලා පයිනුත් යනව. ඒ තරමට ට්‍රැෆික්.

කොළඹ 09 – දෙමටගොඩ
දැනට ඉන්න පාතාල සාමාජිකයො වැඩි හරියක් ඉන්න පැත්තක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒක දැනගන්න ඒ ඒ චන්ඩින්ගෙ අන්වර්ථ නාමවල කී දෙනෙකුට “දෙමටගොඩ” කියන නම මුලට එනවද කියලා බැලුවානම් හරි. දැන් දැන් තත්ත්වයෙන් උසස් බිස්නස් මේ පැත්තෙ පැතිරෙන්න ගත්තට දෙමටගොඩ මිනිස්සු වැඩියෙන් පදිංචි පැත්තක් විදියට හඳුන්වන්න පුළුවන්.

කොළඹ 10 – මරදාන, පංචිකාවත්ත
ඉස්කෝල වගේම, ඉස්පිරිතාලත්, කොටුවට පස්සෙ ප්‍රසිද්ධම කෝච්චි ස්ටේෂමත්, වාහනයක් කැඩුනොත් මිනිස්සුන්ට මුලිම්ම මතක් වෙන පැත්තත් තියෙන්නෙ මෙහෙ තමයි.

කොළඹ 11 – පිටකොටුව
ඕන බඩ්ඩක් කිවුවම වැරදියට හිතන්නෙපා. මේ කියන්නෙ ඉතිං පිටකොටුවෙ තියෙන වැදගත්ම අංගෙ. ඔනම කඩේක තියෙන ඕනම බඩුවක් ඊට වඩා ගනං අඩුවට පිටකොටුවෙන් හොයාගන්න පුළුවන්.

කොළඹ 12 – අලුත් කඩේ
චන්ඩි ටිකක් හිටියට නීතියත් අකුරට ක්‍රියාත්මක වෙන පැත්තක් කියලා කියන්න පුළුවන් වෙන්නෙ මෙහෙ උසාවිය නිසායි. සැළකිය යුතු මුස්ලිම් ජනගහනයක් ඉන්න නිසා යස අගේට බුරියානියක් එහෙම කන්න පුළුවන් වන අතර ප්‍රකට ඉස්ලාම් පල්ලි මේ පැත්තෙ පිහිටලාත් තියෙනවා.

කොළඹ 13 – කොටහේන, කොච්චිකඩේ
කොළඹට නුහුරු ගිනියම් ගතියක් එක්ක තියෙනව වගේම කොටහේනට සහ කොච්චිකඩේට ඒ පැත්තටම ආවේනික උප සංස්කෘතියක් තියෙනවද කියලත් හිතෙනවා. කොච්චිකඩේ පල්ලියට මේ පැත්ත හුඟක් ප්‍රසිද්ධයි.

කොළඹ 14 – ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය
සුගතදාස ක්‍රීඩාංගනය නිසා මේ පැත්ත ප්‍රසිද්ධයි වගේම මේ පැත්තත් ඉතා ජනාකීර්ණ සහ ජනාවාසවලින් පිරිච්ච පැත්තක්. අනික ලංකාවෙ කොයි ප්‍රධාන මට්ටමේ මළල ක්‍රීඩා තරඟ, සමහර මහා පරිමාණ සංගීත සංදර්ශන වුනත් පැවැත්වෙන ග්‍රෑන්ඩ්පාස් පැත්තෙ තියෙන සුගතදාස ක්‍රීඩාංගනයත් අමතක කරන්න බැහැ.

කොළඹ 15 – මෝදර, මට්ටක්කුලිය
මාලුවලට කාලි අම්මගේ කෝවිල හින්දා ප්‍රසිද්ධයි වගේම අනවසර ඉදිකිරීම් කඩ කඩ ෆ්ලැට් හද හද දෙන නිසාත් ප්‍රසිද්ධයි. එකදාස් නවසිය සුළු ගණන් වන තෙක් වර්තමානෙ කොළඹ 07 තිබ්බ විදියට තිබුනු පැත්තක්. දැන් කට්ටිය නං ඒක විශ්වාස කරන්නත් කැමති නැහැ.

උපුටා ගැනීම – Aniwa.lk

Add Comment