බෙහෙත් ඔරුවේ ගිල්වා ඕනෑම ලෙඩක් සුවකරන බුල්නෑවේ විස්මිත වෙදැදුරු

කලාවැවේ නිල් දියවර පිස එන සුළඟ සිහිල් ය. එහි මිහිර විඳිමින් අපි හැල්මේ බුල්නෑව දෙසට යන්නෙමු. ධාතුසේන රජ දවස සිට අභය මුද්‍රාවෙන් කලාවැව‍ දෙස බලා සිටින ‍ඒ අසිරිමත් අව්කන මහා බුදුම පිළිම වහන්සේ ඊට මඳක් ඈතිනි. එහි තේජස් රුව අපූරුය. පිළිම වහන්සේගේ සිවුරේ රැල්ල ද හරියට ම කලාවැවේ රිදී දිය රැල්ල වගේ ම ය.

මේ තරම් සියුමැලි ද කළුගල් හිතන්නටවත් බැරි නිසා – මං ගියා අව්කන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා…. සුනිල් එදිරිසිංහයන්ගේ ඒ ළයාන්විත ගී හඬ මගේ සවන්පත් ගැටෙයි. බුදුනට දෑස් දුන් ගල් වඩුවාගේ අසිරිමත් කෞෂල්‍යය කියන්නට ගීත රචකයා එසේ ලියන්නට ඇත. එහෙත් මට ලියන්නට ඇත්තේ ඇ‍ඟේ මස් මාංශය මතු නොව මුළු මහත් ජීවිතය ම රෝගීනට ලබා දෙන මහා ජීවකයකු ගැනය. ඔහු ද ජීවත් වන්නේ කලාවැව, අව්කන ගම් ඉස්මත්තේ පිහිටි බුල්නෑව ප්‍රදේශයේය. රජ යුගයේ සිදුකළ පංචකර්ම ප්‍රතිකාර, බෙහෙත් ඔරුවේ ගිල්වීම ආදී විශේෂ ප්‍රතිකාරවලින් අංශභාගය, මොළේ උණ, නහර සිහින් වීම, මස් මාංශ දියවීම, නොයෙක් ස්නායු ආබාධ මතුනොව පිළිකාව පවා සුවකරන මේ විස්මිත වෙද මහතාගේ සැබෑ නම ඒකනායක මුදියන්සේලාගේ තෙන්නකෝන් බණ්ඩාය. එහෙත් එතුමාට සමහරුන් පැවසුවේ දොරවේලු වෙද මහතා නමිනි. ඒ ඒ ගමේ සිට බුල්නෑවට පැමිණි බැවිනි.

දොරවේලුව යනු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගමකි. එහි කඳුබොඩ වෙද පරම්පරාව නමින් හඳුන්වන මේ වෙද පරම්පරාවද අත්තා මුත්තා කාලේ පටන් ලෙඩුන් සුව කිරීම සඳහා කැපවූ ජීවකයන් පිරිසකි. තෙන්නකෝන් බණ්ඩා වෙද මහතා විවාහයෙන් පසු දැනට වසර විසි ගණනකට පෙර සිට බුල්නෑව ලෝලුගස්වැවට පැමිණියේය. දැන් එතුමා ප්‍රසිද්ධ බුල්නෑවේ වෙද මහතා නමිනි.

මහත්තයො, දොරවේලුවෙ වෙද මහතා කියලා නම් මට කියන්න එපා. එහෙම දැම්මා ම ඇතැම් ලෙඩ්ඩු නොදන්නාකමට දොරවේලුවට යනවා. එතකොට මා හමුවන්නේ නෑ… එතුමා කී කතාවේ යට තවත් බොහෝ දේ තිබෙන්නට පුළුවන.

අපි එහි ගියේ පසුගිය 10 වැනිදා දහවලදීය. විහාරස්ථාන රැසක භික්ෂූන් 110ක් කැඳවා සංඝගත දක්ෂිණාවක් පවත්වමින් සිටි වෙද මහතා අප සාදරයෙන් පිළිගත්තේය. තමා ධර්මානුකූලව හරි හම්බ කළ දෙයින් භික්ෂූන්ටත් නොවරදවා දන් පිරිනමන එතුමා රටේ නොයෙක් පළාත්වල ලෙඩුන් (ස්ත්‍රී/පිරිමි) වෙන වෙන ම වාට්ටුවල නවත්වාගෙන ප්‍රතිකාර කරයි. ආවතේවකරුවන්, බෙහෙත් සොයන්නන්, තෙල් ගාන්නන් හා රෝගීනට කෑම බීම ලබා දී නාවා පිරිසුදු කරන්නන් ආදී 80 – 100 ක් දෙනාම නඩත්තු කරන්නේ ද මේ විස්මිත වෙද මහතාය. මෙරටේ නොයෙක් දිසාවලින් මතු නොව විදේශිකයෝ ද භික්ෂුහු ද මේ වෙද මහතාගේ වෙද වාට්ටුවේ නැවතී ප්‍රතිකාර ගනිති. අප ඔහු ගැන යමක් නොපවසා පැමිණ සිටි හා වාට්ටුවල නැවතී ඇති ජනතාවගෙන් ම යමක් දැන ගැනීම වැදගත්ය. වෙද මහතාගේ ගිලන්හලේ ස්ත්‍රී වාට්ටුවේ නැවතී සිටින පොලොන්නරුව – අලුත්වැව ශිරාණි නෙලුකා ප්‍රියදර්ශනී මෙසේ කීවාය. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නියම අම්මා කෙනෙකි. කලාවැවේ නිල්දියවර අපෙ අම්මා යැයි කියන්නට ඒ දරුවාට හැකිය.

මගෙ පුතාගෙ නම සඳුන් දිල්ෂාන්. දැන් වයස 14ක්. මගෙ මහත්තයා හමුදාවේ. ගම‍ පොලොන්නරුව – අලුත්වැව. මගෙ දරුවා ඉපදිලා අවුරුදු 3 – 4 ක් යනකොට සාමාන්‍යයෙන් අනෙක් දරුවන්ගේ ශාරීරික වෙනස්කම්වලට වඩා දෙයක් සිද්ධ වෙමින් තිබුණා. එයාගේ ඇ‍ඟේ මස් දියවෙන බව දැනුණා. අවුරුදු 5 – 6 වෙද්දි බර ශීඝ්‍රයෙන් අඩුවෙන්න ගත්තා. එතකොට දරුවා යම්තම් පාසල් ගමන ඇරඹුවා විතරයි. දරුවාගේ මේ ස්නායුවල ආබාධ, ඇඟ මස්දියවීම, බර අඩුවීම නිසා මගෙ හිස අවුල් වුණා. මං ළමයත් අරගෙන පොලොන්නරුව රෝහලට දිව්වා. ඒ අය පරීක්ෂා කරලා කරලා මේ දරුවා පේරාදෙණිය රෝහලට යවන්න කියලා නිර්දේශ කළා. ඊට පස්සෙ පේරාදෙණිය රෝහලින් දරුවාව මාරු කළා කොළඹ ළමා රෝහලට. මං ඉතින්! දරුවා පස්සෙමයි. මට කන්නවත් හරිහැටි නිදාගන්නවත් ලැබුණෙ නෑ. ඒ අය තවත් පරීක්ෂණ ගණනාවක් කරලා කීවා දරුවාට බරපතළ ස්නායු ආබාධයක් හා ඇඟ මස් දියවීමේ රෝගයක් තිබෙනවා. අපි බලමු කියලා. ඒ අතර දරුවාට කතා කරන්නත් බැරි වෙන තත්ත්වයක් ආවා. ඇවිදගන්ඩත් බැරි වුණා. මං දරුවා අරගෙන නොගිය දේවාලයක් පන්සලක් නෑ. නොගිය වෙද ගෙදරකුත් නැති තරම්. එ අතර ආරංචි වුණා මේ වාගේ විස්මිත වෙදකර්ම කරන වෙද මහත්මයෙක් බුල්නෑවෙ ඉන්නවා කියලා. මං දරුවා අරන් මෙහෙට දුවගෙන ආවා. මුලින් මුලින් 2011 විතර ඉඳන් බෙහෙත් අරන් ගෙදර ගියා. එතකොට ළමයගෙ මොළේ වැඩ කරන්න ගත්තා. අත පය වැඩකරන්න ඇවිදගන්ඩ හැකි වුණා. ඉස්කෝලෙ වැඩත් කළා. මේ වෙද මහත්මයා ඇත්තට ම දෙවියෙක්. එතුමා දරුවාගේ අතපය අත ගාලා බෙහෙත් ආදිය දීලා මෙහෙ නවත්වාගත්තොත් හොඳ කළ හැකියි කීවා. අනේ! අපි දෙන්නාට ම කන්න බොන්න දීලා, ගුලි, කල්ක, බෙහෙත් දීලා දරුවා නාවලා නවාතැන් දීලා එතුමා ගන්නේ ඉතා සුළු මුදලක්. මං දරුවාගෙ පොත්පත් පෑන් පැන්සල් මෙහෙ ගෙනැත් ඉස්කෝලෙ වැඩ කරවනවා. විභාගය තියෙන දවස්වලට එක්ක ගිහින් විභාගෙ ලියවනවා. මෙහෙ නැවතිලා මාස දෙකයි. දැන් දරුවා කතා කරනවා. වැඩ කරනවා. ඇවිදිනවා.

ඒ අම්මාගේ දෑසින් කඳුළු කැටියක් ගලා එයි. ඒ අම්මාවරුනගේ හැටිය. මම ද ඒ දරුවා සමඟ කතා කළෙමි. ඔහු සුවදායක පැත්තට වේගයෙන් නැඹුරු වී සිටී.
හේමාවතී (52) මාතාවද අපට ඒ වාට්ටුවේදී මුණ ගැසිණ.

මහත්තයො, අපි ගොවිතැන් බතක් කරලා ජීවිතේ ගැට ගහ ගන්නේ. කලැත්තෑව අපේ ගම. මං දවසක් අපේ වත්තෙ වැඩ කරමින් ඉන්නකොට එකපාරටම මගෙ කකුල ‘චරස්’ ගාලා කැඩිලා වැටුණා. කෙනෙක්ට පිළිගන්න පුළුවන් දෙයක්ද මට වුණේ. දණහිසට පහළින් විලුඹට ඉහළින් එකපාරටම ඇට බිඳිලා. මං බිම වැටිලා කෑ ගැහුවා. අනේ! මගෙ පිනට මේ වෙද මහත්මයා ගැන දන්න ගමේ කෙනෙක් හිටියා. මාව රෝද පුටුවෙ තියාගෙන මෙහෙ ආවෙ. දැන් සති 3යි. ප්‍රතිකාර ඉතා ම‍ හොඳයි. කරුණාවන්ත මිනිස්සු. මාව ගොඩ ගත්තා. දැන් මට හැරමිටි වාරුවෙන් ඇවිදින්න පුළුවන්. තමන්ගෙ වැඩ තමන්ට ම කරගන්න පුළුවන්.

ගල්ගමුවේ ලලිතා පද්මිණි (59) මහත්මියට ද යමක් කියන්නට තිබේ.
මට දරුවන් 3 දෙනයි. අපිත් ගොවිතැන් බත් කරලා ජීවත්වෙන මිනිස්සු. මගෙ උකුල් ඇටයක් දිරලා. ඒක තරමක් බිඳිලා ඇවිදගන්ඩ බැරිව හිටියෙ. අනුරාධපුර මහ ඉස්පිරිතාලේ මාස 7ක් ප්‍රතිකාර ගත්තා. වැඩක් වුණේ නෑ. මට පිනටයි මේ තැන දැනගන්න ලැබුණෙ. මාව ඔසවාගෙන මෙතැනට ගෙනාවෙ. අද මේ වෙද මහත්මයාගේ ප්‍රතිකාරවලින් මට ඇවිදගන්ඩ පුළුවන්. මේ සහතික ඇත්ත.

මේ විස්මිත වෙදැදුරාගෙන් ප්‍රතිකාර ගන්නට එන සුවහසක් ජනතාව තම ලෙඩ රෝග සුව වී එතුමාට පින් දී නැවත ගමරට යති. ඒ අතර වයස අවුරුදු අටේ දරුවන් මෙන් ම අසූවේ මහල්ලන් ද එමටය. නිට්ටඹුවේ පදිංචි 24 වියැති තුලානි මෙසේ කීවාය.

මට තියෙන්නෙ සන්ධි අමාරුවක්. අවුරුදු 2ක් තිස්සේ නොගිය තැනක් නෑ. මොන කරුමයක් ද මන්දා. කාටවත් ලෙඩේ නම් හොඳ කරන්න බැරි වුණා. මං වතුපිටිවල ඉස්පිරිත‍ාලෙ ළඟ ආයතනයක වැඩ කරනවා පරිගණක නිලධාරිනියක් හැටියට. මගේ ආයතනයේ නිලධාරින් මට නිවාඩු ලබා දුන්නා. මේ වෙද මහත්තයා ගාවට ආවා විතරයි දැන් මාස 2ක් නැවතිලා. මගේ අමාරුව වේදනාව නැති වුණා. දැන් ඉතා හොඳ සුවයක් දැනෙනවා. තව ටික දවසකින් ප්‍රකෘති තත්ත්වය ලැබේවි කියලා හිතනවා.

වාට්ටු භාරකරු හා ආවතේවකරු මහත්මයෙක් කීවේ තවත් අපූරු කතාවකි. ඡායාරූපයේ ‍රෝගියකු නාවන්නේ ඒ මහතාය.
මාත් මෙහෙට ආවෙ මගෙ අම්මාගේ අමාරුවකට බෙහෙත් ගන්න. විස්මිතයි. පුදුම විදියට සුව වුණා. ඒ නිසා මා කල්පනා කළා මෙහෙ නැවැතී මේ වෙද මහතා කරන සේවයට උදව් කරන්න. මට වෙද මහත්මයා දීමනාවක් දෙනවා. ඊට අමතරව මා බලන ලෙඩුන්ගේ භාරකරුවන් මට මුදලක් දෙනවා. අංශභාග ලෙඩුන්ට වේලාවට කන්න දීලා, ඇඟ තෙල් සාත්තුව දාලා, සමහරවිට පංචකර්ම වෙදකර්මයට ගෙනිහිලා උපස්ථාන කරවන්න සවසට පොඩ්ඩක් ඇවිද්දවන්න වගෙ වැඩ තමයි මට වෙද මහත්මයා පවරලා තියෙන්නෙ. ඒ ලෙඩුන් යනකොට මටත් පින් දීලා තමයි යන්නෙ.

මේ වෙද මහතාට බෙහෙත් ඔරුව ප්‍රදානය කැර ඇත්තේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේය. නොයෙක් බෙහෙත් වර්ග ධුමයෙන් පංචකර්ම ප්‍රතිකාරයේදි සුව පහසු කරවන ලෙඩුන් පසුව බෙහෙත් ඔරුවේ ගල්වා තෙල් නැහැවීම ද සිදු කැරේ. ඒ සඳහා වෙද මහතාගේ පුතා ද සමහරවිට දූවරුන් ද එසේ ම බෑනා කුමාරසිංහ වෙද මහතා ද උදව් කරති. මේ ධුමය සඳහා යොදා ගන්නා සමහරක් පමණක් මට ඔබට ලිවිය හැකිය. වෙනිවැල්ගැට, ඉරමුසු, කස්තුරි, ගෝරෝචන, මොණරකැඩුම්බිය ආදිය හා තවත් බොහෝ දේ මිශ්‍ර ධුමය සුවඳවත්ය. එය ශරීරයේ බොහෝ ලෙඩ රෝග අතුරුදන් කරන්නකි.
තෙන්නකෝන් බණ්ඩා වෙද මහත්මයා මාධ්‍යයට කැමැති වුවත් ප්‍රසිද්ධියට එතරම් මනාප නැත. මම ඒ ගැන ඒ වෙද මහතා විමසමි.

මහත්තයො මගෙ අප්පච්චි වෛද්‍ය හේරත්හාමි උත්තමයා මට කීවෙ පුතේ ‘රට’ ඉස්සරහින් තියන්න. ජනතාවට සුව ලබා දෙන්න. පුතා රට පිටුපසින් ඉන්න. රටට අවශ්‍ය නම් පුතාව ඉස්සරහට ගනීවි කියලයි. දැන් මේ මහත්තුරු ඇවිත් මෙහෙම අහන නිසා උත්තර දෙන්න කැමැතියි…. එතුමා කීවේය.
ඔබතුමා කඳුබොඩ වෙද පරම්පරාවෙ කෙනෙක්…. මම කීමි. ඔව් ඇත්ත. දැන් බුල්නෑවෙ පදිංචි වුණාට අපි පරණ වෙද පරම්පරාවෙන් එන්නේ. මගෙ ළඟට ලෙඩුන් ගෙනාවොත් මං ඒ ලෙඩුන් ගොඩ දාන්න ඕනෑ කැප කිරීමක් කරනවා.

දැන් ලෙඩුන් කීයක් විතර ඔබෙන් සුවය ලබා ඇද්ද? මම මෝඩකමට මෙන් ඇසුවෙමි. වෙද මහත්මයා හිනා විය. ඒක ගණන් කරලා තියාගත්තෙ නැහැ මහත්මයො. අර පොත් ගණනක ඇඩ්‍රස් නම් තියෙනවා.

අවට සිටි උපස්ථායකයෝ පොත් කීපයක් රැගෙන ආහ. එහි තිස් හතළිස් දාහක පමණ නාම ලේඛන නම් ගම් විස්තර ඇත. ඒ වෙදකමේ පහසුව සඳහා සටහන් තැබීමකි.

ඔබතුමා ඉතාම අඩු මුදලකට මේ බෙහෙත් කටයුතු කරන්නෙ. ඔබේ මතු යම් ප්‍රාර්ථනයක් ඇද්ද? මම අසමි.
මහත්තයලා එනකොට මං දානමය පුණ්‍යකර්මයක හිටියේ. මේ ලෝකෙ උත්තම දේ ධර්මය. ලෙඩුනට උපස්ථාන කිරීම මහා පින්කමක් හැටියට මා සලකන්නෙ. මෛත්‍රී බෝධි සත්ත්වයන් වහන්සේ‍ මේ ලෝකෙ බුදුවන දවසෙදි උන්වහන්සේගේ ජීවකයා වෙන්නයි මා ලෙඩුන් සුව කරලා පතන්නෙ…. එතුමාගේ ප්‍රාර්ථනය එසේම ඉටුවනු ඒකාන්තය. ගම්වැසියන් ද එතුමන් ගැන කියන්නේ අපූරු කතාය.

මගෙ නම ජයරත්න. මේ වෙද මහත්මයා ඇත්තට ම දෙවියෙක්. මං බ්ලොක් ගල් වැඩපළක් කරගෙන ජීවත් වන්නෙ. අවුරුදු 40 ක් තිස්සෙ එතුමාගේ දොරවේලුව ගමේ ඉඳන් මං එතුමා දන්නෙ. රුපියල් ශත ගැන ‍නොවේ හිතන්නෙ. ලෙඩා සුව කරන්න. අද ආවෙ එතුමාගෙ පින්කමට… වෙදගෙදරට කිට්ටු තැන පදිංචි මිනිසෙක් එසේ කීවේය.

මහියංගණයේ සිට පැමිණ මෙහි ප්‍රතිකාර ලබමින් සිටින ඩබ්ලිව් පියසිරි (61) මා සමඟ කතා කරන්නට වැර දරයි. මම එතුමාට ද සවන් දෙමි.
මගෙ ස්නායු දුර්වල වෙලා එකපාරට දකුණු පැත්තෙ අතත් කකුලත් අංශභාගයට වැටුණා. කට පැත්තකට ඇලවී ගියා. මාව මෙතැනට ගෙනාව ම අනේ දැන් මට හොඳයි. කටත් හරි ගියා. මෙහෙ ඉතා කරුණාවන්තව අප බලා ගන්නවා. අංශභාගයට වෙන කොහේවත් ගිහින් හරි යන්නෙ නැති බව මා දන්නවා. දැන් මට 70%ක් විතර හොඳයි.

මේ වෙදගෙදර ඉහළ මාලයක ඇති විශේෂ වාට්ටුවක රැඳවියකු අපි කතාබහට සම්බන්ධ කැරගනිමු. ඔහු ඉන්දියාවේ සිට මෙහි පැමිණියෙකි. ආයුර්වේදයේ පතළ ඉන්දියාවටත් ගොඩ ගැනීමට බැරිවූ ඔහුගේ අංශභාගය රෝගය මේ වෙද මහතාගේ වෛද්‍ය කර්ම ඇසුරින් සුව වූ බව හෙතෙම සපථ කළේය.
මගෙ නම ජලීල්. මදුරාසියෙ මගෙ පදිංචිය. මම ඇවිදින්ඩ බැරිව හිටියෙ. අතත් පයත් එකපාර පණ නැතිව ගියා. මා නොයෙක් තැන ගියා. හරි ගියේ නෑ. ඒත් මේ වෙද මහතා හරිම හොඳයි. ඔහු කළ බෙහෙත්වලින් මං දැන් ඇවිදිනවා. කාගේවත් උදව්වක් නැතිව. මේ වෙද මහතා ඔබේ රටට ආඩම්බරයක්. (ඔහු මා හා කතා කළේ කැඩුණු ඉංගිරිසි භාෂාවෙනි.)

ත්‍රිකුණාමල වරාය අධිකාරියේ කලක් සේවය කළ නියාරිස් මහතාගේ කතාව ද විස්මිතය. ඔහු එහි නේවාසිකවද සිටියේය.
“මට රෑ 2 1/2 ට විතර අමුතු ඔළුවෙ කැක්කුමක් ආවා. මගෙ කාමරය ළඟට හරියට හුළඟ. මං ඒ හුළඟ වළක්වන්න දොර ළඟට යාමට නැගිට්ටා. වෙනත් කවුරුවත් කාමරයේ හිටියේ නෑ. මාව ඇදගෙන වැටුණා. ශබ්දයට ආපු යාළුවො මාව ඉස්පිරිතාලෙට ගෙන ගියා. ඔළුවෙ නහර බ්ලොක් කියලයි අහන්න ලැබුණෙ. ත්‍රිකුණාමල ඉස්පිරිතාලෙ මොන ප්‍රතිකාර කළත් හරි ගියේ නෑ. මේ වෙද මහත්තයා මාව සනීප කළා. දැන් මට හොඳයි.”
අවුරුදු 4ක දරුවකු රැගෙන පැමිණ සිටි වෙන්නප්පුවේ නිශාන්තිගේ අනුවේදනීය කතාව හා තවත් බොහෝ පිවිතුරු විස්මිත වෛද්‍යකර්ම ගැන ලබන සතියේ කියවමු.

ඡායා-දුෂ්මන්ත මායාදුන්න

Add Comment