මධ්‍යම පාන්තිකයන් මුදල් පරිහරණයේදී සිදුකරන බරපතළ වැරදි 6 ක්

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 85%ක් පමණ සිටින්නේ මධ්‍යම පාන්තිකයන්. ඒ මධ්‍යම පාන්තික පවුලක සාමාන්‍ය මාසික අදායම රුපියල් 40,000 සිට 60,000ක් දක්වා සිදුවෙනවා කියලයි විශේෂඥයන් අදහස් දක්වන්නේ. රජයේ සේවකයන්, ගුරුවරුන්, පෞද්ගලික අංශයේ බොහෝ සේවකයන්, රියදුරන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් ඇතුළත් වෙන්නේ මේ මධ්‍යම පාන්තික කුලකයටයි.

තමන්ගේ මාසික වියදමට සාපේක්ෂව ආදායම ඉහළ නොයෑම මධ්‍යම පාන්තිකයන් හැමදාම වගේ පීඩාවට පත්වෙන කාරණයක්. දවසෙන් දවස උද්දමනය නිසා භාණ්ඩ මිල ඉහල යද්දි තමන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න මධ්‍යම පාන්තිකයන් බොහෝ දුක්ගැහැට විඳින ආකාරය අපිට අවට සමාජයෙන් ඕනෑතරම් දැකබලාගන්න පුළුවනි.

තමන්ගේ අතට මුදල් ලැබුනාම බොහෝ දෙනෙක් ඒ මුදල් බුද්ධිමත් විදියට වියපැහැදම් කරන්න දන්නේ නැහැ. තමන්ගේ ආදායමට ගැලපෙන විදියට වියදම් කරගෙන ආර්ථික අපහසුතාවයන්ට පත් නොවෙන විදියට ජීවත් වෙන්න පුළුවන් ක්‍රම 6ක් ගැන අද අපි සාකච්ඡා කරමු.

1. ක්‍රෙඩිට් කාඩ් ණය

මධ්‍යම පාන්තිකයන් විශාල ප්‍රමාණයක් බෙල්ල මුලින්ම හිරවෙන ප්‍රධානම තැන තමයි ක්‍රෙඩිට් කාඩ්. අපරික්ෂාකාරී විදියට ක්‍රෙඩිට් කාඩ් භාවිතා කිරීම නිසා තමන්ගේ මාසික ආදායමෙන් බොහෝ කොටසක් ක්‍රෙඩ්ට් කාඩ් ණය ගෙවන්න වියදම් කරන අය ඕනේ තරම් ඔබේ ජීවිතේදීත් හමුවෙලා ඇති. මෙතනදී බොහෝ දෙනෙක් අමතක කරන මූලිකම කාරණය වෙන්නේ ක්‍රෙඩිට් කාඩ්වලින් අයකරන ඉතා ඉහළ පොළිය. අපේ රටේ බොහෝ බැංකු ක්‍රෙඩිට් කාඩ් සඳහා වාර්ෂිකව 20%කට අධික පොළී අනුපාතයක් අය කිරිම සිදුකරනවා. මේ නිසා ඔබ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා නම්, මේ මාසේ සිදුකල වියදම් මේ මාසය තුළදීම ගෙවා අවසන් කිරීමට කටයුතු කරන එක ආර්ථික අතින් ඉතා හොඳයි. ඒ වගේම අත්‍යවශ්‍යම කාරණාවක් හැර වෙන කිසිම අවස්ථාවකදී ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි නොකර ඉන්න එකත් ඉතා යහපත් පුරුද්දක්.

2. ඉතුරුම් නොමැති වීම

නිකමට කල්පනා කරන්න, ඔබගේ මාසික ආදායමෙන් කීයක් ඔබ ස්ථිරවම ඉතුරු කරනවද? බොහෝ මධ්‍යම පාන්තිකයන් මේ වෙනුවෙන් දෙන පිළිතුර “කීයක්වත් නැත” තමයි. දැන් හිතන්න ඔබ හෝ ඔබගේ පවුලේ කෙනෙක් හදිසියේ අනතුරකට ලක්වූවා කියලා. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර සිදුකරන්න ඔබට කාගෙන් හරි ණයක් ගන්නම සිදු වෙන එක ස්ථිරයි නේද. නමුත් ඔබේ ආදායමෙන් මාසිකව 5%ක් හෝ ඔබ ස්ථිරවම ඉතුරු කළානම්, ඒ වගේ අභාග්‍යසම්පන්න අවස්ථාවකදී ඔබ ආර්ථිකව යම් ස්ථාවරත්වයක සිටිනවා. මේ අපි දැක්වූයේ එක උදාහරණයක් පමණයි. අනිවාර්යෙන්ම ඔබේ ආදායමෙන් ඉතා කුඩා කොටසක් හෝ ඉතිරි කරන්න. ඒ ඉතිරිය බොහෝ ආර්ථික ප්‍රශ්නවලින් ඔබව මුදවාගනීවි.

3. අමතර ආදායම් මාර්ග නොමැති වීම

වර්ථමාන සමාජයේ මධ්‍යම පාන්තික පවුලක් නඩත්තුව මාසික වැටුපෙන් පමණක්ම සිදුකරන්න බැහැ. වෙනත් අමතර ආදායම් මාර්ග එකක් හෝ කීපයක් පවත්වා ගැනීම ඉතා වැදගත්. ඔබගේ දැනුම, හැකියාව කේන්ද්‍ර කරගෙන මේ අමතර ආදායම් මාර්ග පිළිබඳව තීරණය කරන්න පුළුවනි. පාසැල් සිසුන්ට පෞද්ගලික අධ්‍යාපනය ලබා දීම, තමන්ගේ වාහනය ටැක්සි සේවාවන් සඳහා ලබාදීම, සුළු පරිමාණ ව්‍යාපාරයන්හි ගිණුම් කටයුතු සිදුකිරීම වගේ බොහෝ දේවල් හරහා අමතර ආදායමක් නිවස තුළට ගෙන ඒමෙන් තමන්ගේ ආර්ථික අවශ්‍යතාවයන් සපුරා ගන්න පුළුවනි.

4. රක්ෂණ සේවාවන් ලබා නොගැනීම

අපේ රටේ මධ්‍යම පාන්තිකයන් බොහෝ දෙනෙක් සතුව කුමන හෝ ආකාරයක වාහනයක් තිබෙනවා. නමුත් ඒ වාහනය තමන්ට වාසිදායක වෙන ආකාරයට රක්ෂණය කරලා තියෙන්නේ කීයෙන් කී දෙනාද? බොහෝ දෙනා තමන්ගේ යතුරු පැදිය රක්ෂණය කරන්නේ තෙවන පාර්ශවීය රක්ෂණයක් ලෙසටයි. මේ නිසා අනතුරකදී තමන්ට සිදුවෙන පාඩුව තමන්ටම විඳ දරාගන්න බොහෝ විට සිදුවෙනවා. නමුත් රක්ෂණ වාරිකය මදක් වැඩි වුනත්, පූර්ණ රක්ෂණයක් ලබාගැනීමෙන් තමන්ට සිදුවෙන්න ඉඩ තියෙන විශාල පාඩුවක් මගහැරීම සිදුවෙන බව බොහෝ දෙනා පිළිගන්නේ නැහැ. ජීවිත රක්ෂණයත් ඒ ආකාරමයි. තවමත් අපේ සමාජයේ බොහෝ දෙනා ජීවිත රක්ෂණ පිළිබඳව ඒ තරම් තැකීමක් සිදුකරන්නේ නැහැ. ජීවිත රක්ෂණයක් වෙනුවෙන් වසරකදී ආයෝජනය කරන මුදලට වඩා විශාල මුදලක් තමන්ගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් බොහෝ දෙනා වියදම් කරනවා.

5. ඉක්මනින් ක්ෂය වෙන දේ වෙනුවෙන් සිදුකරන වැඩි වියදම්

මධ්‍යම පාන්තිකයන් බොහෝ දෙනෙක් ක්ෂය වෙන දේවල් වෙනුවෙන් බොහෝ මුදලක් වැය කිරීම සිදුකරනවා. උදාහරණයක් විදියට තමන් අලුතෙන් මිලදී ගත් වාහනයේ බාහිර පෙනුම වැඩි කරන්න අවශ්‍ය වෙනස්කම් කරන්න විශාල මුදලක් වැය කිරීම සිදුකරනවා. නමුත් ඒ හේතුවෙන් තමන්ගේ වාහනයේ වෙළඳපොළ වටිනාකම ඉහළ යාම සිදු නොවෙන බව ඔවුන් අවබෝධ කරගන්නේ නැහැ.

6. ක්ෂණික ලාභය ගැන පමණක් සිතීම

බොහෝ දෙනා ක්ෂණික ලාභය ගැන පමණක් සිතා මිල සහ ගුණාත්මකභාවය අඩු භාණ්ඩ මිලදී ගැනීම සිදුකරනවා. නමුත් ගුණාත්මකභාවයෙන් ඉහළ භාණ්ඩයක් පෙර සඳහන් කරපු අඩු මිල භාණ්ඩ කීපයක් භාවිතා කරන කාලයේදී භාවිතා කරන්නට පුළුවනි. අනාගතය ගැන කල්පනා නොකර ඒ මොහොතේ ක්ෂණික ලාබය වෙනුවෙන් කටයුතු කර මිනිසුන් අහිමි කරගන්නා මුදල බොහොම ඉහළයි.
සතුටෙන් ජීවත් වෙන්න නම් මුදල් අවශ්‍යයි. තමන්ගේ ආදායම වැඩි කරගැනීම සිදුකරනා ගමන්ම මේ වැරදි 6 සිදු නොකර, ආර්ථික අපහසුතාවයන්ට මුහුණ නොදී ජීවත් වෙන එක ඔබ අපි කාගේත් වගකීමක්.

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

Add Comment

error: Content is protected !!