මැනුවල් ගියර් වාහනයක් පදවන හැටි තනිවම විනාඩි 15 ඉගෙන ගනිමුද..

ඔබ ප්‍රථම වරට මැනුවල් ගියර් වාහනයක් පදවනවා නම් මූලික මට්ටමේ සිට සරලව එය සිදු කරගන්නා ආකාරය අපි බලමු.

වැඩේ පටන් ගන්න කලින් වෙනත් කෙනෙක් ලවා වාහනය තැනිතලා බිමක තබා ගන්න අමතක කරන්න එපා.

මුලින්ම සීට් බෙල්ට් එක දාගන්න. ගොඩක් දෙනෙක් මේක කරන්නේ පොලීසියට බයේ වුණාට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු අත්‍යාවශ්‍ය ම දෙයක් තමයි මේ. ඒ නිසා තමන් ගැන, තමන්ගේ ආදරණීයයන් ගැන හිතලා වාහනයට නැගපු ගමන් ඒක අනිවාර්යයෙන් ම කරන්න. අලුත් වාහනවල එන්ජිමේ ශබ්දය ඇතුලට නොඇසෙන නිසා ටික කාලයක් ගියර් දැමිය යුතු වේලාවන් අවබෝධ කරගන්නට පුරුදු වෙනකම් ජනෙල් වීදුරු පහත් කරගෙන ඉන්න එක හොඳයි. එවිට අඩු තරමේ ඔබ නොදැන යට කරන්නට යන කෙනෙක් කෑ ගහන සද්දේ හරි ඇහේවි.

දැන් යට තිබෙන පෙඩල් වෙත අවධානය යොමු කරන්න. මෙහි වම් පස තිබෙන්නේ ක්ලච් පෙඩලය යි. ගියර් මාරු කරද්දී එන්ජිම සහ රෝද අතර සබඳතාව පාලනයට මෙය වැදගත් වෙනවා. මැද තිබෙන්නේ තිරිංග පෙඩලය යි. ඉන් වාහනය නවත්වා ගන්නට හැකි වෙනවා. දකුණු පසින් තිබෙන්නේ ඇක්සලේටරය යි. එමඟින් වාහනයේ වේගය වැඩි කරගන්නට පුළුවන්.

සීට් එක හදාගන්න. පෙඩල් සහ සුක්කානම කරකවන්න පුළුවන් වෙන්න සීට් එක ඉදිරියට හෝ පසුපසට කරමින් සකසා ගන්නට අවශ්‍යයි. නිර්දේශිත මට්ටම අනුව, ඔබ අත්දෙක දිග හැර මැණික් කටුව සුක්කානම මත තැබුවාම අත දිග හැරී තිබෙන ආකාරය වන තෙක් සීට් එක සකසා ගත යුතුයි.

හෑන්ඩ් බ්‍රේක් අවපාත කරන්න. වාහනයක් නවත්වද්දී අනිවාර්යයෙන් ම හෑන්ඩ් බ්‍රේක් යොදන්න ඕන. ඒ නිසා නැවත වාහනයට නැග්ගාමත් අත් තිරිංග ඉවත් කිරීම සිදු කළ යුතු වෙනවා. ඔබේ වම් පස සීට් එකත් එක්ක ම කුඩා ලිවරයක් වගේ තිබෙන හෑන්ඩ් බ්‍රේක් එකේ බොත්තම ඔබාගෙන එය පහතට දමන්න.

ක්ලච් එක දීලා ගියර් නියුට්‍රල් කරන්න. ක්ලච් පෙඩලය යටටම පාගලා ගියර් එක මැදට ගන්න. නියුට්‍රල් හෙවත් කිසිදු ගියරයක නැති නිදහස් අවස්ථාවේ ගියර් හැඬලය තිබෙනවාද බලන්න එය තිරස්ව දෙපසට චලනය කර බලන්න. එවිට එය නිදහසේ මැදට එනවා නම් ඒ කියන්නේ නියුට්‍රල් එකේ තමයි තිබෙන්නේ. ගියර් එකකට දැම්මාම එය එසේ තිරස්ව චලනය කරන්නට බැහැ.

රථය පණගන්වන්න. යතුර Ignition ලෙස යොදා ඇති ස්ථානයට (බොහෝ විට දක්ෂිණාවර්ත භ්‍රමණයක්) කරකවා රථය පණගන්වන්න.

ක්ලච් එක පාගාගෙන ම පළමු ගියරය යොදන්න. විවිධ වාහනවල ගියර් යොදන ආකාරය වෙනස් නමුත් ගියර් තිබෙන ආකාරය ගියර් හැඬලය මත ලකුණු කර තිබෙනවා. බොහෝ ඒවායේ වම් පස කෙළවරට ම හැඬලය යොමුකර එහෙමම ඉදිරියට ගෙන ගිය විට පළමු ගියරය යෙදවෙනවා.

ක්ලච් එක නිදහස් කරමින් ඇක්සලේටරය සෙමින් යොදන්න. වාහනය පැදවීමේදී අමාරුම කොටස මෙය ලෙස හඳුන්වන්න පුළුවන්. මුලින් පුරුදු වෙද්දී ගියරය දාලා ක්ලච් එක හරි අඩක් පාගා එන්ජිමේ ශබ්දයේ වෙනස්කම්, ඇතැම් වාහනවල ඇතිවන දෙදරන ස්වභාවය ආදිය සැලකිල්ලට ගනිමින් නැවත යටටම පාගන්න. මෙහෙම කීප වතාවක් කරමින් ‘ඝර්ෂණ මට්ටම’ හඳුනාගන්න. ඊට පස්සේ අඩකට වඩා ක්ලච් එක නිදහස් කරන අතරතුරේම ඇක්සලේටරය යන්තමින් පාගන්න. එවිට වාහනය ඉදිරියට යාවි.

මෙහිදී ඇක්සලේටරය මගින් කෙරෙන්නේ වේගය වැඩිවීම පමණයි. නැත්නම්, ක්ලච් එක අතහැරි මොහොතේ සිටම වාහනය ඉතාමත් සෙමින් ඉදිරියට යන බව සිහි තබා ගන්නට ඕන. ක්ලච් එකෙන් ඇක්සලේටරයට මාරු වීමත් ටිකක් අවධානයෙන් පුරුදු විය යුතු දෙයක්. මුලින් පුරුදු වෙද්දී අමුතු සද්ද ඇවිත් වාහනය නවතීවි. එවිට ගියරය නියුට්‍රල් කිරීමේ පියවරේ සිට මෙය වෙත නැවත කරගෙන එන්න.

මෙය හොඳින් හුරු වුණාම මැනුවල් ගියර් වාහනයක් පදවන එක හරියට ඇවිදිනවා වගේම ඔබට පහසු දෙයක් බවට පත්වේවි.

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

තඹරු විජේසේකර

3 Comments

  1. Lahiru September 16, 2017
  2. Sachith October 29, 2017
  3. malshi October 31, 2017

Add Comment

error: Content is protected !!