මේ දේවල් දන්නවා නම් ගැස්ට්‍රයිටීස් වලට බයවෙන්න දෙයක් නෑ

ගැස්ට්‍රයිටීස් ලෙස බොහෝ දෙනා හදුන්වන අම්ල පිත්ත රෝගය නිසා බොහෝ දෙනෙක් පීඩා විදිති. උෂ්ණාධික ආහාර පාන ඇවතුම් පැවතුම් හේතු පාදක කරගෙන සියලුම ශාරීරික ක්‍රියාවන් සදහා අත්‍යවශ්‍ය පිත නම් රසායනයෙහි ඌෂ්ණ ගුණය වැඩි වූ විටදී ශරීරයෙහි ඇති අම්ලකර වාතය අධික ලෙස දහනය වීම නිසා යකඩ ධාතුව ඇතුළු වෙනත් නොයෙක් රසායන කොටස් ශරීරයට නොලැබී යෑම මේ තුළින් සිදු වේ. එවන් මූලික රසායන වර්ග ජීර්ණ පද්ධතියේ අක්‍රමිකතා මුල් වී සෑදෙන සප්ත ධාතු දුර්වලතා සහ දෝෂ ද්‍රෂ්‍යතා මුල් කොට විවිධාකාර රෝග ජාලයන් ඇති කරයි. අජීර්ණ වැනි උදර රෝග අතරින් පෙරමුණ ගන්නේ ගැස්ට්‍රයිටීස් හෙවත් ආමාශ දාහයයි.

ප්‍රධාන වශයෙන් ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ල පිත්තය ඌර්ධව ගත අම්ල පිත්තය හා අධෝ ගත අම්ල පිත්තය වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. ඌර්ධව ගත අම්ල පිත්ත රෝගයේදී නිල්, කළු හෝ කහ පැහැයට එසේ නැතහොත් රතු පැහැයට වමනය ඇති කරයි. අඡෝගන අම්ල පිත්තයේදී ශරීරයේ දැවිලි ගතිය, අධික පිපාසය, කල්පනාව මද බව, ආහාර අරුචිය හීන වීම, ශරීරයේ රතු ලප මතු වීම, අධික ලෙස උදරයේ දැවිල්ල, දහඩිය දැමීම, ශරීරයේ වර්ණය කහ පැහැයට හුරුවීම, ඉතා අධික දුගදකින් යුතු මලපහ පිට වීම සිදු වේ.

අජීර්ණාබාධ, බඩපිපීම, හිසරදය, පෙකණිය යට කැක්කුම, ආමාශයේ තුවාල ඇති වීම, අර්ශස්, අධික කැසීම සහිත සමේ රෝග, වේදනාව, ඉදිමුම, ලේ සීදන් යාම, උගුර තොල කට වේළීම, ගනු ලබන ආහාර හරි හැටි නොදිරවීම, කාන්තා පක්ෂයට නම් විවිධ ගර්භාශ ගත රෝගද පොදු වශෆයන් අම්ල පිත්තයේදී ඇති කරයි.

අම්ල පිත්ත රෝගයෙන් ආමාශයේ උපදින විස වාතය සන්ධිගත වීමේ ඉදිමුම් අවස්ථා ගැස්ට්‍රයිටීස් ආම වාතය යනුවෙන් හැදින්වේ. මෙම අම්ල පිත්ත රෝගයම මුල් කරගෙන ඇති වන ලේ විස වීම හේතු කොට වකුගඩු පීඩා මුත්‍රාශයේ ගල් ආශ්‍රිත තුනටියේ අමාරු මුත්‍ර විස වීම, මලබද්ධ අවස්ථාවන්ද, මැදිවියේ කාන්තාවන්ට වඩා යෞවනියන් අතර පිත්තාශයේ ගල් නොහොත් පිත්තාශ්මරී රෝගය වැඩි වශයෙන් දක්නට ලැබේ.

අම්ල පිත්ත රෝගියාගේ ආහාර පාන සෞම්‍ය විය යුතුය. දිරවීමට පහසු වීම අත්‍යවශ්‍යයි. කරවිල, තිත් තිබ්බටු, තුඹ කරවිල, ලුණුවිල, තම්පලා, ගොඩුකොළ, ඉරමුසු, හාතාවාරිය අල, කිරිකොළ, වෙනත් සිසිල් ගුණැති ළපටි පලා වර්ග, අසකිද කොළ, දියමිත්ත කොළ, කෝවක්කා, කීකිරිදිය පලා, කෝමාරිකා මද යනාදිය සුදුසු ක්‍රමයට සකස් කර ආහාර පිණිස ගැනීමද අළුපුහුල් ශාකයේ සියලුම කොටස්, පිටි අඩු වට්ටක්කා, නොමේරූ කැකිරි, පිපිඤ්ඤා, පතෝල, වැටකොළු, කොහිල, නෙලුම් අල ආදී දියෙහි හටගන්නා ශාක වර්ගද, ඖෂධීය ඔසු පැන් වර්ගද සව් කැද, පොල්පලා යනාදියද සුදුසු ලෙස සකස් කර ආහාරයට ගැනීම ගුණදායකයි.

එමෙන්ම කොත්තමල්ලි, සූදුරු, මුං ඇට, ඉගිනි ඇට ආදිය කබලෙන් බැද තම්බා ගත් වතුර බීමෙන් දැවිල්ල පිපාසය සංසිදෙයි. ඒවාගේම උතුරා සිසිල් කළ නැවුම් මුට්ටියේ ජලය වැඩිපුර පානය කිරීමෙන් හැම අම්ල පිත්ත රෝගීන්ටම එක සේ ගුණයක් ලබාදෙයි.

වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය

Add Comment