රසම රස තෝසෙ රෙසිපි 5ක් එක්ක සාම්බාර් සහ පොල් චට්නි රෙසිපිත් මෙන්න

ඇමරිකන් පෑන් කේක් ඇමරිකාවෙ උදෑසන ආහාර වේලෙ ප්‍රධාන අංගයක් වගේම තෝසෙ කියන්නෙ අපේ අසල්වැසි ඉන්දියාවෙ ප්‍රධානම උදෑසන ආහාරයක්. සරලවම මේක ඉන්දියන් පෑන් කේක් එකක්. ලංකාවෙ අපිට උනත් බඩ පිරෙන්න හිත පිරෙන්න අඩු ගාණට කන්න තියෙන හොඳම බ්‍රෙක්ෆස්ට් ඔප්ශන් එකක් තමයි තෝසෙ එහෙමත් නැත්නම් දෝසායි. තෝසෙ හදන්නෙ උඳු සහ හාල් වලින් කියල දන්නව ඇතිනෙ. ඒත් මේවා විතරක්ම නෙවෙයි තෝසෙ හදන්න ගන්නෙ. අද අපි මේ කියන්න හදන්නෙ සාමාන්‍ය ප්ලේන් තෝසෙ එකකට අමතරව රසට කන්න ගෙදරදීම හදාගන්න පුළුවන් තවත් තෝසෙ රෙසිපි ටිකක් ගැන. තෝසෙ විතරක් කන්න බෑනෙ ඒ හින්දා තෝසෙ වලට ගැලපෙන සාම්බාර් හොදි එකක් වගේම පොල් චට්නියක් හදාගන්න හැටිත් අපි කියල දෙනව.

1. Plain Dosai


අවශ්‍ය ද්‍රව්‍ය
කැකුළු හාල් කප් 3
උඳු ඇට කප් 1
ලුණු තේ හැන්දක්
උළු හාල් තේ හැන්දක්

හාල්, උඳු සහ උළු හාල් වෙන වෙනම රැයක් හෝ අවම පැය 6ක් පෙඟෙන්න තබා ගන්න.
උළුහාල් ටික උඳු වලටම එක් කර උඳු සහ හාල් වෙන වෙනම තුනී බැටර් එකක් වන ලෙස යන්තම් වතුර එක් කර වෙන වෙනම අඹරාගෙන එකට මිශ්‍ර කරගන්න.
මේ සඳහා පිපුම්කාරක ලෙස කැමති නම් යීස්ට් තේ හැඳි 1/2ක් යොදාගන්න පුළුවන්. යීස්ට් යොදනවා නම් පැය තුනක් පිපෙන්න තබා තෝසේ සාදාගන්න පුළුවන්.
නැති නම් උඳු අඹරන විට එයටම හීල් බත් මිටක් එක් කර අඹරාගන්න පුළුවන්. පිපුම්කාරක ලෙස බත් යොදාගන්නවා නම් පැය 6ක් පිපෙන්න තබාගන්න. මේ කිසිවක් භාවිතා නොකර සාමාන්‍ය ලෙස පිපෙන්නට තබනවා නම් පැය 12ක් පිපෙන්න තබන්න.
නන්ස්ටික් පෑන් එකකට යන්තම් තෙල් ආලේප කර ලුණු එක් කරගත් මිශ්‍රණය දමා රවුමට තුනී කර තෝසේ සාදාගන්න.
මෙයටම වෙනම තැටියක තෙම්පරාදු කරගත් ළූණු, අබ සහ කරපිංචා තෙම්පරාදුවක් එක් කර මිශ්‍ර කර තෝසේ සාදාගන්නත් පුළුවන්.

2. Rava Dosai


අවශ්‍ය ද්‍රව්‍ය
රුලං කප් 1
හාල් පිටි කප් 1
පාන් පිටි කප් 1/2

තෙම්පරාදුවට
අබ තේ හැන්දක්
සූදුරු තේ හැන්දක්
චොප් කරගත් අමු මිරිස් කරල් 2ක්
හොඳින් තලාගත් ඉඟුරු තේ හැන්දක්
කරපිංචා ඉත්තක කොළ
චොප් කරගත් ළූණු පොඩි ගෙඩියක්
මිරිස් කුඩු තේ හැඳි 1/2
රස අනුව ලුණු
ගී ටිකක්
චොප් කරගත් කොත්තමල්ලි කොල ටිකක්

පිටි වර්ග තුනට රස අනුව ලුණු එක් කර මෘදු බැටර් එකක් වතුර එක් කර සාදාගෙන විනාඩි 15ක් පමණ වසා තබන්න.
ඒ අතරතුර තෙම්පරාදුවට ගී ටිකක් වෙනම තැටියක රත් වෙන්න තබා එයට කොත්තමල්ලි කොල හැර අනෙක් සියල්ල පිලිවෙලින් එක් කර තෙම්පරාදු කරගන්න.
තෙම්පරාදුව නිවෙන්නට හැර එය විනාඩි 15ක් පිපෙන්න තබාගත් තෝසේ මිශ්‍රණයට එක් කර එයටම කොත්තමල්ලි කොල එක් කර පෙර පරිදිම තෝසේ සාදාගන්න.

3. Moong Dhal Dosai


අවශ්‍ය ද්‍රව්‍ය
මුං ඇට කප් 2
හාල් පිටි මේස හැඳි 4
චොප් කරගත් අමු මිරිස් කරල් 2
චොප් කරගත් කොත්තමල්ලි කොල ටිකක්
හොඳින් තලාගත් ඉඟුරු තේ හැඳි 1/2
පෙරුම්කායම් පින්ච් එකක් (තිබේ නම් පමණක්)

මුං ඇට සෝදා ගරා රැයක් පෙඟෙන්න තබාගන්න. පෙඟෙන්න තබාගත් මුං ඇට වල දිය බේරා එයට හාල් පිටි හැර අනෙක් සියල්ලම එක් කර හොඳින් අඹරාගන්න. මෘදු බැටර් එකක් ලෙස අඹරාගෙන එයට හාල්පිටි එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
ගී තවරාගත් තැටියක පෙර පරිදිම තෝසේ සාදාගන්න. අවශ්‍ය නම් ළූණු තෙම්පරාදුව එක් කරගන්න.

4. Curd Dosai


අවශ්‍ය ද්‍රව්‍ය
කැකුළු හාල් කප් 1
හබල පෙති කප් 1/2
උඳු ඇට මේස හැඳි 2
උළු හාල් තේ හැඳි 1/2
මී කිරි කප් 1/2
සීනි තේ හැඳි 1/2
රස අනුව ලුණු

හාල්, හබල පෙති සහ උළුහාල් හොඳින් සෝදා අවම පැය 6ක් පෙඟෙන්න තබාගන්න.
මේ සියල්ලේ වතුර හොඳින් බේරා මී කිරි සහ වතුර කප් එකක් එක් කර අඹරාගන්න. සීනි සහ ලුණු එක් කර හොඳින් වසා රැයක් තබන්න.
ගී තවරා ගත් තැටියක සාමාන්‍ය පරිදි තෝසේ පුළුස්සා ගන්න.

5. Cheese Dosai


අවශ්‍ය ද්‍රව්‍ය
ප්ලේන් තෝසෙ බැටර් එකෙන් කප් 1 1/2
චොප් කරගත් ළූණු ගෙඩියක්
චොප් කරගත් තක්කලි ගෙඩියක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ගාගත් මොසරැල්ලා හෝ ප්‍රොසෙස්ඩ් චීස් කප් 1
අවශ්‍ය නම් වියළි ඔරිගානෝ ටිකක්

තෙල්, බටර් හෝ ගී තවරා ගත් නන්ස්ටික් තැටියක් අඩු ගින්දරේ රත් වෙන්න තබා එයට තෝසේ මිශ්‍රණයෙන් ටිකක් දමා තුනී කරගන්න.
තෝසේ එකේ උඩ පිසීගෙන එන විට එයට උඩින් චොප් කරගත් ළූණු සහ තක්කලි දමා ගන්න. එයට උඩින් ඔරිගානෝ සහ චීස්ද එක් කරගන්න.
චීස් රත් වී උණු වෙන තුරු අඩු ගින්දරේ තබන්න. චීස් උණු වේගෙන එන විට තෝසේ එක දෙකට මැදින් නවා මද වේලාවක් තබා ලිපෙන් ඉවත් කරගන්න.

6. Sambar


අවශ්‍ය ද්‍රව්‍ය
තම්බාගත් කඩල පරිප්පු කප් 1/3
සියඹලා ඉස්ම (දෙහි ගෙඩියක තරම් සියඹලා ගුලියක් උණු වතුර කප් 1 1/2ක දිය කරගන්න)
චොප් කරගත් ළූණු ගෙඩියක්
වම්බටු, බෝංචි, අල, කැරට්, තක්කලි, වට්ටක්කා, මුරුංගා (කුඩාවට කපා ස්ටීම් කරගත්) කප් 2
සාම්බාර් මසාලා තේ හැඳි 2
කහ තේ හැඳි 1/2

තෙම්පරාදුවට
අබ තේ හැන්දක්
පෙරුම්කායම් පින්ච් එකක්
උළු හාල් තේ හැඳි 1/2
කපාගත් වියලි මිරිස් කරල් දෙක තුනක්
කරපිංචා කොල ටිකක්
තෙල් ටිකක් රත් වෙන්න හැර එයට තෙම්පරාදුවට අවශ්‍ය දේවල් පිලිවෙලින් එකතු කරන්න. තෙම්පරාදු වූ පසු එයට සියඹලා ඉස්ම, කහ, රස අනුව ලුණු සහ සාම්බාර් පව්ඩර් එක් කරගන්න. විනාඩි දහයක් පමණ අඩු ගින්දරේ පිසගන්න.
පරිප්පු ටික හැන්දකින් තරමක් පොඩි කර පරිප්පු සහ එලවළු සාම්බාර් මිශ්‍රණයට එක් කරගන්න. වතුර කප් 1ක් එක් කර උතුරවා ගන්න. අවසානයට අවශ්‍ය නම් කොත්තමල්ලි කොල ටිකක් උඩින් ඉස ගන්න.

7. පොල් චට්නි


අවශ්‍ය ද්‍රව්‍ය
ගා ගත් පොල් කප් 2
අමු මිරිස් කරල් 8
කරපිංචා ඉත්තක්
ඉඟුරු පොඩි කැබැල්ලක්
සුදු ළූණු බික් 2
ලුණු
සියඹලා ඉස්ම මේස හැඳි 2
ළූණු ගෙඩි භාගයක්
පොල් හැර අනෙක් සියල්ල වතුර ස්වල්පයක් එක් කර හොඳින් අඹරා ගන්න. පේස්ට් එකක් වූ පසු එයට පොල් එක් කර නැවත අඹරාගන්න. රස අනුව සියඹලා ඉස්ම සහ ලුණු එකතු කරගන්න.

උපුටා ගැනීම – Aniwa.lk

2 Comments

  1. D.H.Gunaratne January 13, 2018
  2. Lakshman Perera January 18, 2018

Add Comment