ලොවම විශ්මයට පත්කළ අසාමාන්‍ය මිනිසුන් දස දෙනෙකුගේ කතාවක්

අංක එක – ඇනීටා ෆ්ලෝචික්
පෝලන්තයේ උපන් ලොව සිටින ශක්තිමත් ම යුවතිය ඇයයි. විවිධ තරග වලින් ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් ලබා ඇති ඇය ඒ සඳහා ලෝක වාර්තාවකට ද හිමිකම් කියනවා. වැඩුණු පුරුෂයෙක් දණහිසෙන් ඉහළට එසවීමට ඇය සමත්ව තිබෙනවා. කුඩා කාලයේ සිට ම විවිධ ක්‍රීඩාවන්ට කැමැත්තක් දැක්වූ ඇය අවසානයේ නැවතුණේ වැඩියෙන් ම ප්‍රිය කළ කාය වර්ධනය කිරීමෙහියි.

අංක දෙක – රොල්ෆ් බූකෝල්ස්
ලොව වැඩි ම කරාබු ප්‍රමාණයක් පැළඳි පුද්ගලයා වන මොහු සිරුරේ කරාබු සියයකට වඩා පැළඳ සිටිනවා. ඒ වගේ ම මුළු ශරීරය ම පච්ච වලින් ආවරණය කර තිබෙනවා. ලොව පුරා විවිධ විලාසිතා ප්‍රදර්ශන සඳහා ඔහුව කැඳවන අතර එම නිසා විවිධ රටවල සංචාරය කරන්නට ඔහුට අවස්ථාව උදාවී තිබෙනවා. හැබැයි ඩුබායි රට නම් ඔහුගේ පැමිණීම වළකා තිබෙනවා.

අංක තුන – ජොනතන් පීට්‍රා
සමනල් දරුවා ලෙස හැඳින්වෙන පීට්‍රා සම ගැලවී තුවාල ඇතිවීමේ දුලබ රෝගයකින් පෙළෙනවා. දළඹුවන් තම සම ඉවත්කොට සමනළයකෙු වීම පදනම් කරගෙන මේ නම යොදා ඇති අතර මෙම රෝගය නිසා ඔහු දැඩි වේදනාවකින් පීඩා විඳිනවා. මෙහෙම තුවාල ඇතිවුණාම ඒවායේ ආසාදන තත්ත්ව ඇතිවීම වළක්වා ගන්නට ඔහුට බැන්ඩේජ් දාගෙන ඉන්න සිද්ධ වුණත් බැන්ඩේජ් දානකොට, ගලවනකොටත් ඔහුට දැරිය නොහැකි තරම් වේදනාවක් ඇති වෙනවා.

අංක හතර – යැස්මීනා රොසී
හැමෝම කැමති ලස්සන පෙනුමකටනේ. ඒත් වයසට ගියත් ලස්සනට ඉන්න පුළුවන් නම් කොච්චර අගෙයිද? අවුරුදු 59ක් වුණත් අවුරුදු 20ක පෙනුමකට හිමිකම් කියන යැස්මිනාට නම් ඒ වාසනාව තිබෙනවා. නිරූපිකාවක් ලෙසින් ලොව ප්‍රධාන සමාගම් සමඟ කටයුතු කරන ඇගේ රූ සපුවේ රහස නිතර ව්‍යායාම කිරීම, සමබර ආහාර වේලක් ගැනීම සහ නිවසේ ම සකසාගත් ආලේපනයක් බවයි සඳහන් වෙන්නේ.

අංක පහ – ලූ හාඕ
අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වූ මොහු කිලෝග්‍රෑම් 60ක බරක් සහිතව අධි ස්ථූලතාවයෙන් යුක්ත කුඩා දරුවෙක්. අහිතකර වුණත් ලූගේ මව්පියන් ඔහුට ලොකු බත් දීසි කිහිපයක් හැම කෑම වේලකදී ම ලබා දෙනවා. අධික බර නිසා ම තම වයසේ අනිත් දරුවන්ට නැති රෝග රැසකට මුහුණ දෙන්නට සිදුවුණත් ඔහු තමන්ගේ එදිනෙදා ජීවිතය සාමාන්‍යාකාරයෙන් ගෙවන්නට උත්සාහ දරනවා.

අංක හය – අමූ හජී
අවුරුදු 80ක් වයස මොහු අවුරුදු 60කින් ම නාලා නැහැ කිව්වොත් ඔබ විශ්වාස කරනවා ද? ඉරානයේ වෙසෙන ඔහු රෝගී තත්වයක් හේතුවෙන් ස්නානය කිරීම නවතා ඇති අතර ඔහුගේ ගඳ නිසා ම කිසිවෙක් ඔහුට කිට්ටු වෙන්නට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වගේ ම කවුරුවත් එනවාට ඔහුගේ කැමැත්තකුත් නැහැ. හජීගේ ක්‍රියා කලාපය නිසා ම ඔහු ලොව අපිරිසිදු ම පුද්ගලයා වශයෙන් සැලකෙනවා. ඔහු දුම් පානයට භාවිතා කරන්නේත් දුම්කොළ නෙවෙයි. සතුන්ගේ මළපහ වර්ගයි.

අංක හත – මයිරා හිල්ස් හෙවත් බීශයින්
පියයුරු බද්ධ කිරීමේ ක්‍රමවේදය බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ කුඩා ප්‍රමාණයේ පියයුරු සාමාන්‍ය පොදු මට්ටමට සකසා ගැනීම සඳහා වුවත් බීශයින් එය භාවිතා කර තිබෙන්නේ පියයුරු අතිවිශාල කර ගන්නට යි. ජර්මනියේ අසැබි දසුන් නිරූපිකාවක් ලෙස රැකියාව කරන ඇයගේ එක් පියයුරක බර කිලෝග්‍රෑම් 16ක් පමණ වෙනවා. මෙම ප්‍රමාණයට ඇය ප්‍රියතාවයක් දක්වන අතර ඉන් ඇති එක ම ගැටළුව ප්‍රමාණයට සරිලන ඇඳුම් සොයාගැනීම බවයි ඇය නම් කියන්නේ.

අංක අට – ෆූ වෙංගායි
අපේ බෙල්ලේ කශේරුකා තියෙන්නේ 7 යිනේ. ඒත් මොහුගේ බෙල්ලේ කශේරුකා 10ක් ම තිබෙනවා. මේ නිසා ම යාළුවන් ඔහුව හඳුන්වන්නේ ජිරාෆ් කොල්ලා කියලා. හැබැයි මේ පිහිටීමෙන් ඔහුට මහත් අපහසුතාවන් රැසකට මුහුණ දෙන්නට සිදුවෙලා තිබෙනවා. එක දිගට ම ඇති වේදනාව සහ ඇඳුම් ඇඳීමේදී ඇති අපහසුතාව නිසා දැඩි පීඩාවකින් පෙලෙන ඔහුගේ රෝගය සුව කරගන්නට මේ වන විටත් මුදල් සොයමින් පවතිනවා.

අංක නවය – කැතී ජං
‘ඉඟ සුඟ ගත හැක මිටින’ කියලා කවිවල අහලා තිබුණත් ඇත්තට ම එහෙම කෙනෙක් දැකලා නැත්නම් කැතී කියන්නේ හොඳ ම උදාහරණයක්. ලොව සිහින් ම ඉඟටිය ඇති කාන්තාව ඇය යි. හැබැයි ඇය ඉඟ සිහින් කරගත්තේ ව්‍යායාම කිරීමෙන් නොවෙයි. පසුගිය අවුරුදු 12 තුළ ම ඇය විශේෂිත ඇඳුමක් දවස පුරා ම ඇඳගෙන ඉඳලා තමයි මේ විධියට ඇඟ හදාගෙන තිබෙන්නේ. ඇය එය ගලවා තිබෙන්නේ ස්නානය කරද්දී විතරයි.

අංක දහය – ගැරී ටර්නර්
ලොව වඩාත් ම ඇදෙන සමට හිමිකම් කියන ගැරීගේ සමෙන් සාමාන්‍ය ප්‍රමාණයේ මේසයක් වසන්නට හැකියාව තිබෙනවා. හැබැයි ඔහු ඉපදුනේ මේ ඇදෙන සම එක්ක නෙවෙයි. මීට වසර කිහිපයකට පෙර වැළඳුණු සමේ ශක්තිමත් බව නැති කරන චර්ම රෝගයක් නිසා ඔහුගේ සම මෙලෙස ඇදී යාමට පටන් ගත්තා. ඒත් ඔහු නොසැලී එය විනෝදයට සහ ප්‍රදර්ශනය සඳහා ද භාවිතා කරන්නට පටන්ගත්තේ බොහොම සතුටෙන්.

Add Comment