සන්නිවේදනයෙන් සිරිලක ලොවට යා කෙරෙන මුහුදු කේබල

වර්තමානයේ ලාංකිකයෙකුට කෙලින්ම ගුවනින් ගියද ඇමරිකාවේ නිව්යෝක් වෙත ලඟාවීමට පැය 16කට වඩා ගතවේ. එහෙත් ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය හා තත්පර කිහිපයකදී සම්බන්ධ වන්නට අන්තර්ජාලය තුළදී අවකාශ ලැබී තිබේ. මෙය හුදෙක් අපගේ කටහඩ හෝ රූපය සන්නිවේදනය කරනවාට වඩා පුළුල් ලෙස විධිමත්ව විශාල ප්‍රමාණයේ දත්ත සම්ප්‍රේෂණය නූතනයේ වඩාත් පහසු වී තිබේ. ලොව වටා දත්ත සම්ප්‍රේෂණය කිරීමේ කාර්යය අද වනවිට භෞතික දුර යන සාධකය අභිබවමින් වේගයෙන් දියුණු වී තිබේ. ගෝලීය දත්ත සම්ප්‍රේෂණය (Global Data Transmission) වේගවත් කිරීමට සන්නිවේදන මුහුදු කේබල් මගින් සිදුවන්නේ මහත් සේවයකි. ලංකාවද වර්තමානයේ මුහුදු කේබල් ගණනාවකට සම්බන්ධ වි තිබේ.

පැරණි ටෙලිග්‍රාෆ් කේබල
විද්‍යුත් ස්පන්දයක් තඹ කේබලයක් හරහා සන්නිවේදනය කරමින් 1850 කාලයේදී ටෙලිග්‍රාෆ් පණිවුඩ ජනප්‍රිය විය. එම මුල්ම කාලයේ පටන්ම බ්‍රිතාන්‍ය අධිරාජයේ කොදෙව්වක් වූ අප දිවයින යාබද ඉන්දියාව සමග සන්නිවේදන මුහුදු කේබල වලින් සම්බන්ධ වී තිබුණි. 1858 දී පෝක් සමුද්‍ර සන්ධිය හරහා මුල්ම මුහුදු යට කේබලය එලා (Submarine Telecommunication Cable) තිබේ. ඒ හරහා ලංකාවේ ටෙලිග්‍රාෆ් පණිවුඩ ඉන්දියාවේ රාමේශ්වරම් තොට දක්වා රැගෙන යෑමට එකල හැකිව තිබේ. අත්ලාන්තික් සයුර හරහා ඇදි මුල්ම ට්‍රාන්ස් ඇට්ලන්ටික් ටෙලිග්‍රාෆ් කේබලය හරහා ඇමරිකාවට පණිවුඩයක් යවන්නේද 1858 වර්ෂයේදීය. එනම් එකල පටන්ම සිලෝන් නම් වූ අප දිවයිනේ විදුලි සංදේශන හැකියාව යම් දියුණු මට්ටමක පැවතී තිබේ.

SEA-ME-WE 1
SEA-ME-WE – South East Asia-Western Europe-Middle East යන අදහසින් සී මී වී ලෙස ජාත්‍යන්තර මුහදු කේබලයකට පලමුවෙන්ම ලංකාවට සම්බන්ධ වන්නේ 1985 දීය. එය තඹ කෝක්සියල් කේබලයකි. ඒ සම්බන්ධවීමත් සමගම ලංකාවේ එතෙක් විදේශ හා සම්බන්ධ වෙමින් පැවති අන්තර්ජාතික ඇමතුම් වල කැපී පෙනෙන වර්ධනයක් ඇති විය. එම අවධියේදී එවන් ඉන්දියන් සාගරයේ ලංකාව හරහා ගොස් එක් පසෙකින් ඕස්ට්‍රේලියාවටද අනෙක් පසින් හොංකොං දක්වාද ඇදි ගිය කේබලය අනෙක් පසින් සූවස් ඇල හරහා ගොස් යුරෝපයට සම්බන්ධ විය. එම අවධියේදී අපගේ යාබද බලගතු රට වන ඉන්දියාව වත් එවන් සුවිශාල මුහුදු කේබලයක් හා සහසම්බන්ධව තිබුණේ නැත.

සැටලයිට් සහ මුහුදු කේබල්
චන්ද්‍රිකා තාක්ෂණය මගින් දුර රටවල් දෙකක් සන්නිවේදනයෙන් යා කළ හැකිය. අද පවා රූපවාහිනි සම්ප්‍රේශණ කටයුතු කාලගුණ දත්ත ලබාගැනීම, ස්ථාන නිමාන සිතියම්කරණය වැනි කටයුතු සදහා චන්ද්‍රිකා සාර්ථකව භාවිත කරනු ලැබේ. එහෙත් දුරකථන පනිවුඩ හුවමාරුවට සහ දත්ත හුවමාරු කටයුතු වලදී චන්ද්‍රිකා තාක්ෂණය එතරම්ම සාර්ථක වූ විභවයක් සහිත මාධ්‍යයක් නොවේ. අප කතාකරන වචන විද්‍යුත් චුම්භක තරංග බවට පත් වී වාතය නැමැති බාධාකාරී වටපිටාව ඔස්සේ කිලෝමීටර දාස් ගානක් උස වායුගෝලයේ ස්ථානගත කර ඇති චන්ද්‍රිකාවකට යැවිය යුතුය. ඉන් පසු එම දත්ත නැවත තවත් අන්තයකට ලබාගත යුතුය. එනම් සරලවම චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේදී ඔබ හලෝ කීවිට නැවත අනෙක් පසින් හලෝ එකක් ඇසීමට සැලකිය යුතු කාලයක් ගත වේ.

එය දෙපසට සිදුවන සන්නිවේදන කාර්යකදී බාධාවකි. එබැවින් වෙන් වූ ගොඩබිමක් වූ ලංකාව වැනි රටකට සන්නිවේදන කාර්යය ශක්තිමත් වීම පිණිස මුහුද යටින් එලන ලද කේබල මගින් සිදුවන මෙහෙය සුළුපටු එකක් නොවේ. නූතන යුගයේදී ගූගල් ලූන් නැමැති ව්‍යාපෘතියක් හරහා ඉහල අහසේ රඳවන ලද බැලූන ආධාරයෙන් සන්නිවේදන කටයුතු කිරීමේ පර්යේෂණ සිදු වුවද ඒවාද සාමාන්‍ය වායුගෝලය හරහා විශාල දුරක් දත්ත සම්ප්‍රේෂණයේදී ඇතිවන ස්වාභාවික දුබලතා නිසා අඩාල වන්නට විය. වර්තමානයේ ලොව භාවිත වන තාක්ෂණ අතින් සැලකූ කල ඔප්ටිකල් ෆයිබර් කේබල් හරහා විශාල වේගයකින් දත්ත හුවමාරු කරගැනීමේ පහසුව උදා වී තිබේ.

සී මී වී තවදුරටත්
ලෝකයේ එදා මෙදාතුර පැවති දීර්ඝතම මුහුදු කේබලයටද ශ්‍රී ලංකාව ද සම්බන්ධ විය. එය කිලෝමීටර 39,000ක් පමණ දිගැති සී මී වී 3 මුහුදු කේබලයයි. යුරෝපය, මැදපෙරදිග සූවස් ඇල, ඉන්දියාව ලංකාව පාකිස්ථානය සිංගප්පූරුව. ඔස්ට්‍රේලියාව මෙන්ම අනෙක් පසින් ජපානය දක්වාම දිවෙන එම කේබලයට මධ්‍යස්ථාන 39ක් එකතු විය. වර්ෂ 2000දී මුලින්ම දත්ත යවනු ලැබූ එම කේබලය අද ද ලංකාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හරහා සම්බන්ධය. එහි ඇතැම් කොටස් වර්ථමානයේදී ක්‍රියාවිරහිත වී තිබේ.

ලංකාවට ඇදි මුල්ම කේබලය වූ සී මී වී 1 කේබලය තඹ කෝක්සියල් කේබලයක් වූ නමුදු ඉන් පසු පැමිණෙන සියලුම කේබල ඔප්ටිකල් ෆයිබර් කේබල් වේ. එම ඔප්ටිකල් ෆයිබර් කේබල් වර්තමානය වන විට විවිධාකාර තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ දත්ත වැඩි වැඩියෙන් යැවිය හැකි ලෙස නිර්මාණය කොට තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මෙතෙක් දියත් වූ සී මී වී කේබල 4ටම දායක වී තිබේ. වර්තමානයේ ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම සිය සී මී වී කේබලයේ 5 වන අවධියට සම්බන්ධ වෙමින් පවතී. මාතර වැල්ලමඩම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් කේබලය ලංකාවට ඇතුලු වන අතර එවැනි සම්පූර්ණ කේබලය සැපත් වීමකට ලංකාව යොදාගන්නේ ප්‍රථම වතාවටය. මීට පෙර සිදුවන්නේ ප්‍රධාන කේබලයෙන් උප කොටසක් රැගෙන ලංකාවට සම්බන්ධ කිරීමකි. එම සී මී වී 5 නවතම කේබලයේ ධාරිතාවය 24 Tbps තරම් විශාල අගයකි. පූර්ණ වශයෙන් කේබලය ලංකාවට සම්බන්ධ වන හෙයින් අනාගතයේ ලංකාවේ දත්ත හුවමාරු කටයුතු වලදී මෙම කේබලය විශාල වශයෙන් දායක කරගත හැකිවනු ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මාලදිවයින හා දිරාගු කේබල් වලින්ද ඉන්දියාවටද මුහුදු සන්දාම පවතින මුත් වර්ථමානයේ දි නම් ඒවායේ දායකත්වය අඩු වෙමින් පවතී.

මුහුදු කේබල වල වැදගත්කම
අද වනවිට ඇමතුම් යන වලට වඩා දත්ත සැකසුම් වල අවශ්‍යතාවය විදුලි සංදේශ ක්ෂේත්‍රයට දැඩිව පැමිණ තිබේ. ලබාගන්නා දත්ත විවිධ ස්ථානවලදී එක්රැස් කරගෙන විවිධ කාර්යයන්ට දායක කර ගනී. උදාහරණ ලෙස අද චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යයනය කොටගෙන ලබාගන්න දත්ත ආශ්‍රයෙන් අපට කාලගුණ අනාවැකි කීම අන්තර්ජාලයෙන්ද සාර්ථකව සිදුකරන ලබන කාර්යයකි. එහිදී ඒ ඒ දත්ත වලට අනුව වර්ෂාව ඇතිවේ යැයි නිගමනය කරන ගණිතමය කාර්යය සිදුවන්නේ ලෝකයේ කොහේ හෝ වෙනත් ස්ථානයකදීය. එය වෙබ් අඩවි වලට ඇතුලත් කරන්නේ තවත් තැනකදීය. එහෙත් ඒ කියන්නේ ඒ තැන්වලින් බොහෝ ඈත තැනක වූ ලංකාවේ කාලගුණය ගැනය.

ලෝකයේ විවිධ ස්ථානවල ඇති මනුෂ්‍ය සහ භෞතික විභවයන් වෙනස්ය. එම විභවයන් එක් එක් කලාපයන්ගෙන් උකහා ගනිමින් ලෝකයේ ව්‍යාපාරික සහ ආර්ථික සම්බන්ධතාවයන්ට උරදීමට නූතන සන්නිවේදන විශ්වය සමත් වී තිබේ. එලෙස එක් එක් මහද්වීපය හෝ රට මුහුදු මාර්ගයෙන් ඈත්ව තිබුණද සන්නිවේදන කේබල මගින් ඒවා එකිනෙක මනාව සම්බන්ධ කරනු ලැබ ඇත.

ලංකාවේ පුද්ගලික අංශයේ දායකත්වය
රජය හා සම්බන්ධ වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මෙන්ම පුද්ගලික අංශයේ දැවැන්තයෙකු වන ඩයලොග් සමාගමද අද වනවිට Bay Of Bengal Gateway කේබලය හා සම්බන්ධ වී තිබේ මැදපෙරදිග බර්කා ඉන්දියාවේ චෙන්නයි සහ මුම්බයි මැලේශියාවේ පෙනන් සහ සිංගප්පූරුව එම කේබලය හා සම්බන්ධ වි තිබේ. ඩයලොග් කේබලය 6.4 Tbps වේගයකින් සමන්විත වන අතර එය ගල්කිස්ස ප්‍රෙද්ශයෙන් ලංකාවට සම්බන්ධ වේ.

ලංකා බෙල් සමාගම සතුවද අන්තර්ජාතික මුහුදු සන්නිවේදන කේබල් මධ්‍යස්ථානයක් ඇති අතර ඔවුන් FLAG කේබලයට සම්බන්ධ වේ. ඉන්දියාවට යන කේබලයෙන් කොටසක් ශ්‍රී ලංකාවටද සම්බන්ධ වී තිබේ.

මුහුදු කේබල් එලීම
ඉන්දියානු සාගරයේ මධ්‍යන්‍යය ගැඹුර කිලෝමීටර 4කට ආසන්නය. එනම් ඒ සා විශාල ගැඹුරකින් යුතු ජල තලයක් මත මෙම මුහුදු කේබල එලිය යුත්තේය. මුහුදු කේබල් එලීමේදී ප්‍රථමයෙන් එලනු ලබන මාර්ගය හදුනාගත යුත්තේය. ඒ සඳහා මුහුදු පත්ලේ භූවිද්‍යාත්මක දත්ත ඇතුලත් අධිතාක්ෂණික සිතියම් භාවිත කරනු ලැබේ. නැව් සහ සබ්මැරින වලට හසු නොවන සේද සාගරවාසී මෝරුන් සහ වෙනත් සාගර ජීවින්ගෙන් කේබලයට හානියක් අවම වන පරිදිද යෝජිත කේබල් පථය මුලින් නිමානය කළ යුතුය.

කේබලය එලූ පසු ටික කලකින් එය බෙහෝවිට මුහුදේම කොටසක් බවට පත් වේ. ඇතැම් තැනෙක මේ මිනිහා විසින් දැමූ කෘත්‍රීම කේබලයකැයි නොදන්නා මුහුද ජීවිහු එය ද සම්බන්ධ කරගනිමින් සිය ජනාවාස ගොඩනගා ගනිති. එබැවින් කේබලය කාලය සමග පැරණි වී භාවිතයෙන් ඉවත් කළ ද නැවත ගලවා ගැනීමනම් අමාරු කාර්යයකි.

කේබලය සහ සම්බන්ධතාවය
ඉන්දියානු සාගරයේ මධ්‍ය පිහිටීම හේතුවෙන් ටෙලිකොම් දත්ත සන්නිවේදනය අනුව සැලකූ කළ නූතන පූර්ව යුගයේ එනම් 1985 දී තරම් ඈතකදී පටන් ශ්‍රී ලංකාව ලෝකය හා සමග කේබල වලින් සහසම්බන්ධ වීම අප ලැබූ භාග්‍යයකි. ලෝකයේ ඇතැම් තැනක හුදකලා ව ඇති රාජ්‍යයයෝ සංවර්ධනය කිරීමට ඇති මූලික බාධාවක් නම් අධිවේගී ලෙස ලෝකය හා සන්නිවේදනය කිරීමට ලාබදායී ක්‍රමවේදයක් නොතිබීමය. අප රට වෙත සන්නිවේදනයේ වාසිය බොහෝවිට කාලය හා සමානුපාතිකවම ලැබී තිබේ. එහෙත් එය සංවර්ධනයට දායක කරගැනීම ව්‍යාපාරික ප්‍රජාවගේත් රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේත් වගකීමකි.

අන්තර්ජාතික සන්නිවේදනය යනු සුළුපටු වියදමක් නොවේ. මෑතකදී එලන ලද බේ ඔෆ් බෙංගල් කේබලය සඳහා ඩයලොග් සමාගමේ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 33කි. ටෙලිකොම් සමාගමට සම්බන්ධ වන සී මී වී 5 කේබලය සදහා එම සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 40ක මුදලක් ආයෝජනය කොට තිබේ. විශාල කර්මාන්ත සේවාවන් සපිරි ලංකා ආර්ථිකයක් ඇතිවුවහොත් එම ටෙලිකොම් සමාගම් වලට සිය ආයෝජන වල වැය ප්‍රධානකොට විශාල පරිමාන දත්ත පරිපථ හරහා උපයාගත හැකියාව ලැබේ.

අන්තර්ජාතිකව ලංකාව සම්බන්ධ මුහුදු කේබල් ගැන යම් විස්තරයක් ඔබට මේ හරහා දැනගන්නට ලැබෙන්නට ඇති. මේ ගැන ඔබේ අදහස් ද තිබේනම් කොමෙන්ටුවක් ලෙස එකතු කර යන්නට අමතක කරන්නට එපා.

වර්ථමාන ලෝකය සන්නිවේදනයෙන් මුහුද තරණය කොට සෑම මහද්වීපයක්ම එකිනෙක යා කර අවසන්. එම කාර්යයට මුහුද යටින් ඇදෙන සබ්මැරීන් කේබල වලින් ලැබෙන්නේ විශාල දායකත්වයක්.

By Amila Chathuranga

උපුටා ගැනීම – roar.media

Add Comment