හොර රත්‍රන් අල්ල ගන්න ක්‍රමේ මෙන්න

රත්රන් සහ වටිනා ලෝහ මිලදී ගන්නා කෙනෙකුට එය සැබැවින්ම වටිනා ලෝහයක්දැයි දැන ගැනීමට ක්‍රමයක් ඇතැයි ඔබ දැන සිටියාද? ඉතා ප්‍රසිද්ධ නමක් ඇති ස්වර්ණාභරණ නිෂ්පාදකයකුගෙන් හෝ අප්‍රකට ස්වර්ණාභරණ නිෂ්පාදකයකුගෙන් රන් අභරණ මිලදී ගන්නා විට ඒවායේ සැබෑ ප්‍රමිතිය නියම කැරට් 22 හෝ නියම කැරට් 18 වශයෙන් දැනගත හැකි තාක්ෂණයක් ලොව පවතී. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේෂ් ගම්මන්පිල මහතා සමග මේ ගැන පැවැත්වූ සංවාදයයි මේ.

අද වෙළෙඳපොලේ මිලදී ගැනීමට ඇති රන් ආභරණ නියම කැරට් 22 හෝ කැරට් 18 වශයෙන් විශ්වාස කළ හැකිද?
අප ආයතනයට ඇති අත්දැකීම් අනුව ඇත්තෙන්ම මේ සම්බන්ධ සැක සහිත තත්වයක් තිබෙන බවයි දැකිය හැක්කේ. බොහෝ විට කැරට් 22 හෝ කැරට් 18 යැයි පවසන ස්වර්ණාභරණ වල එම සංයුතිය අඩංගු නොමැති බවත්, වෙනත් බර වැඩි ලෝහ අනුපාත මිශ්‍ර කර ඇති බවත් දැකගත හැකියි. ඉතින් රත්රන් තරම් වටිනාකමක් නැති මේ ලෝහ ප්‍රමාණයටත් හරියාකාර රත්රන් මිල ගෙවීම තමයි දකින්නට ලැබෙන අවාසනාවන්ත තත්වය.

ඒ වුණාට රාජ්‍ය සහ උකස් ආයතන වලත් මේ ආභරණ වලට පිළිගැනීමක් ලැබෙනවනේ?

ඒක තමයි මේ ප්‍රශ්නය විසදගන්න තියෙන එක් ප්‍රධාන බාධකයක් වෙන්නෙ. බැංකු, උකස් ආයතන ස්වර්ණාභරණක රත්රන් ප්‍රමාණය නිශ්චිත කරන්නේ එහි ඝනත්වය පදනම් කරගෙනයි. ඒත් ඒ ඝනත්වය ලැබෙන පරිදි මිශ්‍ර කළ හැකි වෙනත් ලෝහ මගින් රත්රන් බාල කළ හැකියි.

ඉතින් තමන් සතුව ඇති රත්රන් නියම රත්රන් බව දැනගන්න ක්‍රමයක් නැද්ද?

අපේ ආයතනය සතුව පවතින නවීන තාක්ෂණික උපකරණ වලින් සමන්විත අන්තර්ජාතිකව පිළිගත් වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ පරීක්ෂණාගාරය මගින් ඉතාම නිවැරැදිව ස්වර්ණාභරණයක අඩංගු රත්රන් ප්‍රමාණය සොයාගත හැකියි. ඉන්පසු ඒ ගැන සඳහන් වන සහතිකයක් අපි නිකුත් කරනවා. මේ මගින් වටිනා ලෝහ වන රන්, රිදී, ප්ලැටිනම් ලෝහ මිශ්‍රණ වලින් නිෂ්පාදිත ආභරණවල ඇති එම ලෝහ ප්‍රමාණය සොයාගත හැකියි.

යම් ලෙසකින් මේ අයුරින් තමන්ගේ අභරණ වල රත්රන් අඩුපාඩුවක් ඇති බව දැනගත්තොත් පාරිභෝගිකයකුට ගතහැකි ක්‍රියාමාර්ග මොනවද?

මේ සහතිකය රැගෙන තම ස්වර්ණාභරණ නිෂ්පාදකයා හමුවට ගොස් රිසිට්පත් ඉදිරිපත් කර එක්කෝ ඔහු වැඩිපුර අය කරගන ඇති මුදල ආපසු ඉල්ලා ගැනීමට හෝ ගෙවූ නිවැරදි රත්රන් ප්‍රමාණය අඩංගු අභරණ සාදවාගත හැකියි.

එවිට කොහොමද අපි මේ බව තහවුරු කරගන්නේ. යම් විදියකින් ඔහු කිව්වොත් මේක මන් හදපු එක්ක නොවේ කියලා?

මේ දැක්වූ සාධක අනුව නම් මෙතනින් එහාට කරන්න දෙයක් ඇත්තේ නැහැ. එත් ස්වර්ණාභරණ මිලදී ගන්න විට නිවැරදි පියවර ගත්තානම් ඔබ මේ ආකාරයෙන් අමාරුවේ වැටෙන්නේ නැහැ.

හොදයි අපිට පියවරෙන් පියවර ඒ ගැන විස්තර කරන්න.

ස්වර්ණාභරණයක් මිලදී ගන්නා කෙනෙක් කාගෙන් එය මිලදී ගත්තත් නිවැරදි ප්‍රමිතයට ඇත්දැයි තහවුරු කර ගැනීමට සොයා බැලිය යුතු මුද්‍රා කිහිපයක් තිබෙනවා. එයින් පළමුවැනි කාරණය තමයි නිෂ්පාදකයාගේ මුද්‍රාව. මෙය නිෂ්පාදක ආයතනයේ අනන්‍යතාව දක්වන කිසියම් සලකුණක් විය හැකියි. මේ සලකුණ ඇත්නම් මේ අභාරණය නිෂ්පාදනය කළේ තමන් බව නිෂ්පාදකයා පිළිගැනීමක් බව සැලකිය හැකියි.

ඊළගට 22k, 18k ආදී වශයෙන් නිෂ්පාදකයා සදහන් කර තිබෙනවා නම් කැරට් 22, කැරට් 18 වශයෙන් තමයි එම අභාරණය නිෂ්පාදනය කළ බවට නිෂ්පාදකය වගකීම භාර ගත්තා වෙනවා. ඒත් එතනින් අවසන් වෙන්නේ නැහැ. පුන්කලස සලකුණ, පහන සලකුණ සහ පිරිසිදුතාව දක්වන 999, 916, 875, 750 යන සලකුණු රත්රන් වල නියම ප්‍රමිතිය දක්වන පිළිගත් සලකුණු වෙනවා. නිෂ්පාදකයාගේ සලකුණු සමග මේ පිළිගත් සලකුණු ඇත්නම් නිෂ්පාදකයා සහ නියාමන ආයතනය විසින් සහතික කරනු ලැබූ නියම ස්වර්ණාභරණ මිලදී ගත් බවට ඔබට සැනසීමක් ලබාගත හැකියි. එහෙම නැතුව ආයතනයක නමක් ගැන විතරක් බලලා තීරණ ගන්න එපා. නියම ප්‍රමිතියට හදන අයට විතරයි ප්‍රමිති ලාංජන යෙදිය හැක්කේ. මේ නිසා ප්‍රමිති ලාංජන සහ නිෂ්පාදකයාගේ ලාංජනය ඇතිව මිලදී ගන්නා ස්වර්ණාභරණයක ප්‍රශ්නයක් ඇති වුවහොත් ඒ සම්බන්ධව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යුක්තිය ඉටුකර දිය හැකියි.

ජාත්‍යන්තර ප්‍රමිති ලාංජනවල වැදගත්කම කුමක්ද?

ස්වර්ණාභරණ කර්මාන්තයේ විශ්වාසනීයත්වය රැක ගැනීමට අරමුණු කරගෙන ජාත්‍යන්තර වශයෙන් 1972 දී වියානා නුවර අභරණ මුද්‍රා තැබීම පිලිබඳ වියානා සම්මුතිය ඇති කළා. මේ අනුව පොදු සලකුණු මුද්‍රා (common control mark) මගින් අභරණ මුද්‍රා තැබීමට පියවර ගත්තා. මේ පොදු එකඟතාව ඇති රටවල ඒ ලෝහ පරික්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂණාගාර උපකරණ පද්ධතිය තිබිය යුතුයි.

මෙසේ මුද්‍රා තැබීමේ වාසි මොනවද?
පාරිභෝගිකයාට ආරක්ෂාවක් ලැබීම, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ දියුණුවක් ඇති වීම, රැකියා උත්පාදනය, රක්ෂණ සමගම, තක්සේරුකරුවන්, උකස්කරුවන්, පොලිස් පරීක්ෂණ වලට වැදගත් වීම, වෙළදාම වර්ජනය කිරීමට හා විශේෂයෙන්ම විදේශ වෙළදාම පහසු කරවීමට මේ පියවර ඉතා වැදගත්, ලෝක වෙළඳපොලේ ඉහල ඉල්ලුමක් පවතින ස්වර්ණාභරණ නිෂ්පාදන කර්මාන්තයට මේ අන්තර් ජාතික මුද්‍රාවන් ඉතාම වැදගත් වෙනවා. රැවටෙන්නේ නැතිව නියම ප්‍රමිතිය ඇති රන්, රිදී, ප්ලැටිනම් අභරණ මිලදී ගන්න නම් මේ සලකුණු අමතක කරන්න එපා.

මේ සම්බන්ධයෙන් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන ගමන් යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

Add Comment

error: Content is protected !!